දෙවිනුවර තරුණ ජැන්ඩිපහේ පිරිමි කාවඩි පාතාලය
"පාතාලය" විසින් තරුණ පිරිමින් යොදාගෙන දෙවිනුවර කාවඩි නැටුම් නැටවීම
"නටන" කොට මිනිස්සු ලස්සන ඇයි ?
"නටන මිනිස්සු ලස්සනයි. අවලස්සන වෙන්නේ නටන්නේ නැති මිනිස්සු."
නටන්නේ රිද්මයකට පෙම් බැදී අය. රිද්මයට ප්‍රේම කරන්නේ ජන්මයෙන් ලද මිනිස් සුවදකින්. ඒ තමයි තමන්ගේ ජීවිතය පිළිබද තමන්ට තියෙන රුචිය, තෘප්තිය සහ ස්වයං වින්දන ආත්ම රාගය. ඒ ආත්ම සරාගී තෘප්තිය මිනිස් සුවදක්, ප්‍රාණයක් තමන්ට තමන් ජීවත් කරවන්න. මිනිසුන්ට එහෙම ආත්ම රාගයක් නැති තැන හුස්ම ගත්තත්, ලෝකයට පේන්න ශෝභන ලෙස ජිවත් වුවත්, ඔවුන් "මළ මිනිසුන්" බවට පත්වෙනවා.
මේ ලිපිය ලියන්න ප්‍රස්තුත වන්නේ මේ දිනවල දකුණේ දෙවිනුවර පෙරහැර ආශ්‍රිත නැටුම කෙරෙහි පාතාලයේ ඇති මෙහෙයුම පිළිබද සංසිද්ධිය සහ එහි නටන තරුණයින්ගේ නර්ථනය, සමාජයේ සඟවා තිබෙන අප්‍රකට අනෙකක් ( පාතාලය ) විසින් අවිඥානික ලෙස මෙහෙයවන ආකාරය පිළිබද වන විචාරාත්මක පුරුෂ විෂයික සංස්කෘතික අනාවරණයකි. එනම් එළියට පෙනෙන නර්තන ( රංග) සංදර්ශනය යට, නමුත් එළියට නොපෙනෙන්න, සැඟව ඇති අරුත පිළිබද විදාරණයකි මේ ලිපියේ අරමුණ වන්නේ.
මිනිස් මාංශ පේශි සහ අස්ථි වල සංකෝචන සහ ප්‍රසාරණ ඇසුරෙන් බාහිර ට අපට දිස්වන්නේ අපුරු හැඩයකි, රිද්මයකි. රිද්මය සහ හැඩය මානසික උත්තේජනයේ ප්‍රකාශනයයි. රිද්මය සෞන්දර්යකි. රිද්මය කලාවක්, සුන්දර අංගයක් වන්නේ ම මිනිසාගේ ප්‍රාණය සරාගය තුළින් මතුවීමෙනි. මෙහි "සරාගය" යන්න අදහස් කෙරෙන්නේ වින්දනයට ආශාව ට ඇති ලබ්ධියයි. ආශාව මතු වෙන්නේ රූපයේ රසාස්වාදයෙනි. රූපය මතුවෙන්නේ ඉන්ද්‍රිය පිනවන "රසය" මත ලෝකය අප විසින් හසුකරගැනිමෙනි. රසය මතුවෙන්නේ භාවය පිනවීමෙන් ලබන සුඛ වේදයිතයෙනි. භාවය සහ රසය මුලික කායික ව්‍යවච්චේද විද්‍යාව අනුව මාංශ පේශි සහ ඒ ආශ්‍රිත ස්නායු රසායනික යාන්ත්‍රණයේ පලයෙකි. සැපයෙන් (සුඛය) සැනහීම අත්‍යන්තයෙන් ම විදවීම හෙවත් වේදනාව ම කරණ කොට ගෙන ඇත්තේය.
අංග ප්‍රත්‍යංග කරන කොටගෙන කෙරෙන, ලෝකයේ ඇති තාක් සැප දුක් වේදයිත ඇසුරෙන් කෙරෙන ප්‍රසාංගික "අභිනය" (ඉදිරියට කැඳවාගෙන ගෙනෙන ) සෞන්දර්ය යයි දක්වන්නේ භරතමුණි ය. ඒ නාට්‍ය ශාස්ත්‍රයේ ය ( සොන්ගාධ්‍ය භිනයෝ පේතෝ නාට්‍යමිත්යාභිධියතේ).
නාට්‍යශාස්ත්‍රයේ නර්තනය ප්‍රධාන කොටස් තුනකට වෙන් කරයි. භරතමුණිගේ නාට්‍යශාස්ත්‍රයට අනුව: නාට්‍යය (Nāṭya) යනු මිනිස් ජීවිතය අනුකරණය කරමින් රසය ජනනය කරන, සංගීතය, නර්තනය, අභිනය, සංවාද සහ වේදිකාකරණය එක්වන සම්පූර්ණ රංග කලාවයි. නෘත්ත (Nṛtta) යනු භාව ප්‍රකාශයකින් තොර ශුද්ධ තාලාත්මක නර්තනයයි. නෘත්‍ය (Nṛtya) යනු අභිනය, භාව සහ රසය මඟින් අර්ථය ප්‍රකාශ කරන නර්තනයයි.
"භාව රසාදි විහීනං තු, නෘත්තමිත්‍යභිධීයතේ." මෙහි සිංහල අර්ථය: "භාවය සහ රසය ප්‍රකාශ නොකරන, තාලය සහ ලය මත පදනම් වූ ශුද්ධ චලන නෘත්තය ලෙස හැඳින්වේ." "රසභාවව්‍යඤ්ජනාදි යුක්තං නෘත්‍යමිති කීර්තිතම්." එනම්, "රසය, භාවය සහ අභිනය මඟින් අර්ථය ප්‍රකාශ කරන නර්තනය නෘත්‍යය ලෙස හැඳින්වේ." තවද "අවස්ථානුකෘතිර් නාට්‍යම්." එනම්, "ජීවිතයේ විවිධ අවස්ථා සහ මිනිස් හැසිරීම් අනුකරණය කරමින් ඉදිරිපත් කිරීම නාට්‍යයයි."(හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, 2007).
කාවඩි නර්තනය (Kavadi Attam) යනු ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ හින්දු ආගමික සම්ප්‍රදායට අයත් ප්‍රධාන චාරිත්‍රානුකූල (ritualistic) නර්තන සම්ප්‍රදායයකි. එහි මූලාරම්භය ද්‍රවිඩ හින්දු ආගමික සම්ප්‍රදාය සහ විශේෂයෙන්ම ස්කන්ධ (මුරුගන්) දෙවියන්ගේ වන්දනා චාරිත්‍ර සමඟ සම්බන්ධ වේ. හින්දු පුරාණ කථාවලට අනුව, ඉඩුම්බන් (Idumban) විසින් කන්දක් උරහිස මත රැගෙන යාමේ පුරාවෘත්තය කාවඩි සම්ප්‍රදායේ මූලික පදනම ලෙස සැලකේ. එම පුරාවෘත්තය පදනම් කරගනිමින් භක්තිකයන් කාවඩිය (දෙපස බර සහිත ලී ව්‍යුහයක්) උරහිස මත තබාගෙන ගමන් කිරීම, නැටීම සහ වන්දනා කිරීම මඟින් තම භාරයන් (vows) ඉටු කරන අතර, මෙම චාරිත්‍රය ශරීරය, භක්තිය සහ ආත්මික කැපවීම ඒකාබද්ධ කරන ආගමික කාර්යසාධනයක් ලෙස සැලකේ (කලෝති, 1978; යුන්ගර්, 2002).
ශ්‍රී ලංකාවේ කාවඩි නර්තනය ප්‍රධාන වශයෙන් කතරගම, දෙවිනුවර, නල්ලූර් සහ අනෙකුත් මුරුගන් හා විෂ්ණු දේවාල ආශ්‍රිත පෙරහැරවල දක්නට ලැබෙන අතර, එය ආගමික වන්දනා චාරිත්‍රයක් පමණක් නොව ජන නර්තනය, වීථි ප්‍රාසංගිකත්වය (street performance), සංගීතය, රිද්මය සහ සාමූහික සංස්කෘතික අනන්‍යතාව හා එකට බැඳෙන සජීවී සංස්කෘතික ක්‍රියාවලියකි. නර්තනයේදී බෙර, තවිල්, නාදස්වරම් සහ අනෙකුත් ජන සංගීත භාණ්ඩ සමඟ සංකීර්ණ රිද්ම රටා නිර්මාණය වන අතර, නර්තන ශිල්පීන්ගේ ශරීර චලනය, සමබරතාව, ශාරීරික විනය සහ භක්තිය එකම ප්‍රාසංගිකත්වයක් තුළ ප්‍රකාශ වේ. මේ අනුව, කාවඩි නර්තනය ශරීරය මඟින් ආගමික අර්ථය සන්නිවේදනය කරන (embodied ritual communication) ආකාරයක් ලෙස විග්‍රහ කළ හැකිය (කෙප්ලර්, 2000;ශේෂ්නර්, 2013).
සමාජ හා සංස්කෘතික දෘෂ්ටිකෝණයකින් බලන විට, කාවඩි නර්තනය ආගමික භක්තිය ප්‍රකාශ කරන ක්‍රියාවක් පමණක් නොව, ප්‍රජා සහභාගීත්වය, සාමූහික අනන්‍යතාව සහ සංස්කෘතික උරුමය පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන කාර්යසාධන සම්ප්‍රදායකි. වික්ටර් ටර්නර් (1969) පෙන්වා දෙන පරිදි, මෙවැනි චාරිත්‍රානුකූල කාර්යසාධන තුළ පුද්ගලයන් සාමාන්‍ය සමාජ භූමිකාවන් ඉක්මවා ගොස් අතරමැදි (liminal) තත්ත්වයකට පිවිසෙන අතර, එහිදී ප්‍රජා කේන්ද්‍රීය (communitas) සාමූහික බැඳීමක් ගොඩනැඟේ. ඒ අනුව, කාවඩි නර්තනය තනි පුද්ගල භක්තියට පමණක් සීමා නොවී, ආගමික ප්‍රජාවක ඒකාබද්ධතාව සහ සංස්කෘතික අඛණ්ඩතාව තහවුරු කරන සමාජ චාරිත්‍රයක් ලෙසද වැදගත් වේ.
විවේචනාත්මක සංස්කෘතික අධ්‍යයන දෘෂ්ටිකෝණයකින්, කාවඩි නර්තනය යනු, ශරීරය, ආගම, පුරුෂ විෂයික භාවය, ජන සංගීතය, රිද්මය සහ පොදු අවකාශය (public space) එකිනෙකට සම්බන්ධ කරන බහුවිධ ප්‍රාසංගික මාදිලියකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බොහෝ කාවඩි කණ්ඩායම් තරුණ පිරිමින්ගෙන් සමන්විත වීම, නිරාවරණය වූ පුරුෂ ශරීරය, රිද්මයානුකූල ශරීර චලනය සහ සමූහ ප්‍රාසංගිකත්වය මඟින් පුරුෂ විෂයික භාවය, භක්තිය, විනය සහ ප්‍රජා අනන්‍යතාව එකවර සන්නිවේදනය කරන බව පෙන්වා දෙයි. එබැවින් කාවඩි නර්තනය ආගමික චාරිත්‍රයක් පමණක් නොව, ශරීරය මූලික කරගත් (embodied) සමාජ–සංස්කෘතික සන්නිවේදන පද්ධතියක් ලෙසද අවබෝධ කරගත යුතුය (කොනෙල්, 1995; කෙප්ලර්, 2000).
තරුණ පිරිමි නටන කාවඩි නැටුම් නරඹන විට පෙනෙන්නේ ලංකාවේ ආසියානු පිරිමි ශරීරයේ මිශ්‍ර තාණ්ඩව සහ ලාස්‍ය මුසු නර්තනයෙකි. දෙවිනුවර පසුගිය දිනෙක ඇති වූ කාවඩි කල්ලි අතර ගැටුම පසුපස තිබෙන පාතාල ලෝකය හෙවත් ප්‍රචණ්ඩ මිනීමැරුම් සමග කුඩු මත්ද්‍රව්‍යය මෙහෙයවන මිනිසුන් සහ දේවාලය, දෙවියන් සහ ජන ප්‍රසාංගික සංස්කෘතික ප්‍රදර්ශනය සමාජීය අලෙවිකරණ මෙවලමක් ලෙස සංස්කෘතික දේශපාලනයක නිරත වන බව පෙනේ. භක්තිය, නර්තනය, පුජාව සහ දෙවියන් ඉදිරියට දමා එකී සංස්කෘතික ප්‍රතිමාන ඇසුරෙන් අප සමාජය තුළ කාලාන්තරයක් තිස්සේ වල් වැදුණු සමාජයක ඉදිව තිබෙන ආධිපත්‍යයික පුරුෂ විෂයික බාහු බල ඇණවුම කුමක්ද යන්න සොයා ගත යුතුව පවතී.
තරුණ කාවඩි නටන හැඩිදැඩි යෞවන/තරුණ පිරිමි සමග දකුණේ පෙරහැර ආශ්‍රිතව දිගුකාලයක් පුරා නර්තනයේ යෙදෙන "නාච්චි" නමින් හදුන්වන මිනිස් ප්‍රජාව ද සම්බන්ධ වේ. නාච්චි යනු ගැහැණු ලක්ෂණ පෙන්වන පිරිමි හෝ/සහ ලිංග මාරුවීම් සිදුවෙන හෝ සිදුකරගත් පිරිමි (Transgender) හෝ එවැනි ලක්ෂණ පෙන්වන පිරිමි විසින් සාරි හෝ ස්ත්‍රී ලාස්‍ය ලක්ෂණ පෙන්වන නර්තන ඇදුම් ආයිත්තම් ඇඳ පැළඳ කරන නර්තන සමග මෙම ප්‍රස්තුතය සම්බන්ධ වේ. සෘජුව දෙවිනුවර විෂ්ණු පෙරහරේ නාච්චි ප්‍රජාව නර්තනයේ නොයෙදෙතත් දකුණේ සුප්‍රකට පෙරහැර වලදී මේ නාච්චි ප්‍රජාව නර්තනයේ යෙදීම සුලභය.
කෞශල්‍යය ආරියරත්න (2022) දක්වන ආකාරයට "නාච්චි" යනු ශ්‍රී ලංකාවේ දේශීය සංස්කෘතික හා සමාජීය පසුබිම තුළ වර්ධනය වූ, බටහිර ලිංගිකත්ව හා ස්ත්‍රී-පුරුෂ සමාජභාව සංකල්පවලට සෘජුවම සමාන කළ නොහැකි, ස්වදේශීය සමාජභාව (indigenous gender identity) අනන්‍යතාවකි. එය වාර්ගික කණ්ඩායමක්, ජාතියක් හෝ කුලයක් නොව, ඉතිහාසය, සංස්කෘතිය, රංග කලාව සහ සමාජ සම්බන්ධතා සමඟ බැඳුණු සුවිශේෂී ප්‍රජා අනන්‍යතාවක් ලෙස හඳුනාගැනේ.
ඉතිහාසඥයන් හා සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, "නාච්චි" යන වචනය උතුරු ඉන්දියානු "Nautch" (නාච්) යන වචනයෙන් බිහි වූ බවයි. එහි මූලික අර්ථය "නර්තනය" හෝ "නර්තන ශිල්පිනිය" වන අතර, 19 වන සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ විවාහ මංගල උත්සව, ආගමික උත්සව සහ ප්‍රජා සැමරුම්වල නර්තනය, ගායනය සහ රංගන කටයුතු කළ පිරිසක් හැඳින්වීමට මෙම නාමය භාවිත වූ බව සඳහන් වේ ( පරාක්‍රම ,2024).
සමාජ විද්‍යාඥයන් වන මිලර් සහ නිකොලස් (2012) නාච්චි අනන්‍යතාව පිළිබඳ මෙසේ සඳහන් කරති:
"Nachchi was an insider term used by a group of sex workers best conceptualized using Western understandings as both transgender and homosexual."
කෙසේ වෙතත්, මෙම නිර්වචනය එම පර්යේෂණයට සහභාගි වූ විශේෂිත පිරිසකට (වාණිජ ලිංගික සේවයේ නියුතු නාච්චි පිරිසකට) පමණක් අදාළ වන අතර, සියලු නාච්චි පුද්ගලයන් නියෝජනය කරන නිර්වචනයක් ලෙස නොසැලකිය යුතුය. පසුකාලීන පර්යේෂණ මගින් නාච්චි අනන්‍යතාව වඩාත් පුළුල් සංස්කෘතික හා සමාජභාවීය අනන්‍යතාවක් ලෙස විග්‍රහ කරයි (ආරියරත්න ,2025).
නාච්චි ප්‍රජාව යනු උපතේදී පුරුෂ ලිංගය පවරා ඇති නමුත් ස්ත්‍රී සමාජභාවයකින් ජීවත්වන, ස්ත්‍රී අනන්‍යතාව ප්‍රකාශ කරන සහ බොහෝවිට පුරුෂයන් කෙරෙහි ආකර්ෂණයක් දක්වන පුද්ගලයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ ස්වදේශීය සමාජභාව ප්‍රජාවකි. එහෙත්, "නාච්චි" යන්න බටහිර "transgender woman" යන සංකල්පයට සමාන පදයක් නොව, ශ්‍රී ලාංකේය සංස්කෘතික ඉතිහාසය තුළ බිහි වූ සුවිශේෂී අනන්‍යතාවක් බව පර්යේෂකයන් අවධාරණය කරයි (එම.).
එමෙන්ම, නාච්චි ප්‍රජාවට තමන්ගේම සමාජ ජාල, ඥාතිත්ව පද්ධති, භාෂාමය ප්‍රකාශන සහ ආගමික-සංස්කෘතික චාරිත්‍ර පැවති බවත්, එමඟින් සමාජයෙන් පීඩාවට පත් වූ පුද්ගලයන්ට අන්‍යෝන්‍ය සහයෝගීතාව, ආරක්ෂාව සහ අනන්‍යතාව පිළිබඳ හැඟීමක් ගොඩනැගුණු බවත් උක්ත විද්වත් සාහිත්‍යයේ දැක්වේ.
ආගම , මත්ද්‍රව්‍යය සහ පුරුෂ විෂයික පිරිමි සමරිසි සබදතා පිළිබද මා විසින් කලින් කරන ලද එක්තරා අධ්‍යයනයකින් හෙළිවූයේ ඇතැම් ලංකාවේ තරුණ බෞද්ධ භික්ෂුන් ට පවතින සමරිසි සබදතා ආශ්‍රිතව මත්ද්‍රව්‍යය, ළමා කාලයේ වැඩිහිටියන්ගෙන් සිදුවූ සමලිංගික අතවර, ආර්ථික සහ සමාජ පීඩන සමග මේ ක්ෂේත්‍රය අන්ත්රාන්ෂික වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක් අතර (intersectional trajectory) මේ අංශය දීපව්‍යාප්ත වන බවයි(ජිනදාස,2026).
ලංකාවේ බලය අයථා පරිදි මෙහෙයවීම ඇතුළේ බරපතල ආකාරයෙන් පිරිමි සමරිසි සබදතා සමග පුරුෂ විෂයික බාහු බල ආශාව සහ රසය අත්‍යන්තයෙන් ම සක්‍රිය වේ. ස්ත්‍රී කාන්තා ලාස්‍ය මුසු පිරිමි කෙරෙහි ජව සම්පන්න හැඩිදැඩි පිරිමි දක්වන රෝමාන්තික සහ රාගික ආශාව ගැබ්ව තිබෙන ආකාරය දැකිය හැක. මේ සමග පාතාල ලෝකය හෙවත් ලෝකයෙන් සඟවා කරන මානව සැබෑ ආශා රංගය ඇතුළේ පසුගිය කාලය පුරා මෙරට ඇතැම් හෝ බොහෝ ප්‍රභල දේශපාලකයින්, ව්‍යාපාරිකයින් සහ ඉහළ වෘත්තිකයින් එකිනෙක සම්බන්ධව කටයුතු කරයි. තම තමන්ගේ දුෂිත දිවිපැවැත්ම වසා ගැනීම හෝ දුෂිත ව්‍යාපාර සහ දේශපාලන බල මෙහෙයුම් පවත්වාගෙන යාම සදහා මේ පිරිස මෙහයවිම ඇතුළේ පවතින්නේ සඟවා ගෙන රහ විදින පිරිමි සිරුරේ තාණ්ඩව සහ ලාස්‍ය මුසු සෞන්දර්යය සරාගයකි.
අනෙක් අතට, සමරිසි සබදතා මෙන් නොව, පිරිමි පිරිමි අතර ඇති සමාජීය රෝමාන්තික සහෝදර ප්‍රේමය (bromance/homosocial desire) ( සේද්විග්,1985) රෝමාන්තික සහ සරාගික රසාශාවක් ලෙස සඟවා තෘප්ත කරගන්නා ආකාරය ෆ්රෝයිදියානු "ආශා ශක්තිය" (Libidinal cathexis) (ෆ්‍රොයිඩ් ,1910;1914;1953) සහ ලකානියානු "අතිරේක ආස්වාදය" (Jouissance) (ලකාන්,1977; 1978;1998) පිළිබද මනෝවිශ්ලේෂණය ඔස්සේ පැහැදිලි කල හැක.
ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණ ප්‍රවේශය අනුව, පුරුෂ–පුරුෂ සබදතාවන්හි ගැබ්වෙන ආදරය හා ලිංගික ආශාව යනු සරලව ජීව විද්‍යාත්මක හෝ සමාජීය තේරීමක් නොවේ. මෙය අවිඥානික ආශාව (unconscious desire), ලිබිඩෝ (libido), හඳුනාගැනීම (identification), සහ ආශා වස්තු තේරීම (object choice) යන මනෝ ක්‍රියාවලීන් ඇසුරෙන් ගොඩනැගෙන සංකීර්ණ මිනිස් අත්දැකීමක් ලෙස විග්‍රහ කළ හැක. ෆ්‍රොයිඩ්ගේ අදහස අනුව ලිංගිකත්වය උපතේ සිටම විවිධ හැකියාවන් සහිත (polymorphously perverse) ස්වභාවයක් ගනි. නමුත්, පසුව සමාජීය හා මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් ඔස්සේ එය විශේෂිත ආශා දිශාවන්ට සංවිධානය වේ. මේ අනුව, සමරිසි ආශාව (same-sex desire) යනු මනෝ ව්‍යාධියක් නොවේ; එය පුද්ගලයාගේ ලිබිඩෝ ( ගැඹුරු ආශා) ශක්තිය නිශ්චිත ආශා වස්තුවක් වෙත යොමුවීමක් ලෙස විග්‍රහ කළ හැක. ෆ්‍රොයිඩ්ගේ "වස්තු තේරීම" (object choice) නැමති සංකල්පය අනුව පුද්ගලයාගේ ආදර සහ ලිංගික ආකර්ෂණය කා වෙත යොමු වේද යන්න අවිඥානික මනෝ ව්‍යුහයන්, ළමා අවධියේ හඳුනාගැනීම් සහ අත්දැකීම් සමඟ සම්බන්ධ වේ. එමෙන්ම මෙය "ස්වරූප කාමරාගී වස්තු කෙරෙහි පවතින රුචිය (narcissistic object choice) සහ "තමාගේ රසාශය හදුනාගැනීම" (identification) යන සංකල්ප මගින් පුද්ගලයා තමන්ගේම රූපය, පුරුෂත්වය, හෝ ආත්මීය අර්ථය සමඟ සම්බන්ධ වන ආකාරය විශ්ලේෂණය කළ හැක. එබැවින් ෆ්‍රොයිඩියානු රාමුව තුළ පුරුෂ–පුරුෂ ආදරය යනු "අනන්‍යතාවයක්" පමණක් නොවේ; එය, අවිඥානික ආශා ගතිකත්වයන්, ලිබිඩෝ ආයෝජනය (libidinal investment), සහ ආශාවේ වස්තු තේරීම ඔස්සේ නිර්මාණය වන මනෝ ක්‍රියාවලියකි.
ලකානියානු මනෝවිශ්ලේෂණය තුළ පුරුෂ–පුරුෂ ආදරය හා ලිංගික ආශාව විග්‍රහ කරන්නේ පුද්ගලයාගේ ස්වභාවික ලිංගික නැඹුරුවක් ලෙස පමණක් නොවේ; එය, භාෂාව, සමාජ අර්ථ, අවිඥානය සහ "අනෙකා" (the Other) සමඟ ඇති සම්බන්ධතාව තුළ නිර්මාණය වන ආශාමය ස්ථානයක් (subject position) ලෙස සැලකේ. ලකාන්ගේ අදහස අනුව "ආශාව යනු අනෙකාගේ ආශාවයි" (desire is the desire of the Other), එනම් පුද්ගලයාගේ ආශාව ඔහුගේ පෞද්ගලික කැමැත්තකින් පමණක් සිදු නොවේ;එය සංස්කෘතිය, භාෂාව, සමාජ සම්මතයන් සහ පිළිගැනීමේ අවශ්‍යතාව මගින් හැඩගැසෙයි. මෙම රාමුව තුළ පුරුෂ–පුරුෂ ආදර සම්බන්ධතා "ආශාවේ හේතුකාරක වස්තුව" (objet petit a (object cause of desire) ) යන සංකල්පය මගින් විග්‍රහ කළ හැකි හැකිය; ඒ කෙරෙහි, ආදරයට ලක්වන පුද්ගලයා පමණක් නොව, ඔහු නියෝජනය කරන අවිඥානික අර්ථය, හිඟය (lack), පිළිගැනීම හෝ ආශාවේ පරමාදර්ශයද පිරිමි -පිරිමි කෙරෙහි ආකර්ෂණයේ මූලාශ්‍රයක් වේ. එමෙන්ම සංකේතීය පද්ධතිය (Symbolic Order ) ඔස්සේ ද පුරුෂත්වය, විෂමලිංගික සම්මතයන් (heteronormativity), සමාජ තහංචි සහ ලිංගික අනන්‍යතා ගොඩනැගෙන ආකාරය විශ්ලේෂණය කළ හැක. ලකානියානු දෘෂ්ටියෙන්, පුරුෂ–පුරුෂ ආශාව යනු සමාජ සම්මතයන්ට පිටතින් පවතින දෙයක් නොව, එම සම්මතයන් තුළම අර්ථ ගොඩනගන, සාකච්ඡා කරන සහ නැවත නිර්මාණය කරන අවිඥානික ආශා ක්‍රියාවලියකි.
මේ අනුව, එළියේ ප්‍රසිද්ධ ව පෙන්විය නොහැකි නමුත් සැබවින්ම මානවයා ශිෂ්ඨාචාරය තුළ අත්‍යන්තයෙන් ම අපුරු ලෙස වින්දනය කල පිරිමි සිරුරු වල පිහිටන ආධිපත්‍යයික සහ හාත්පස වසා පැතිර යන පිරිමි බාහු බල යෙදවීම විසින් ම ලංකාවේ ප්‍රචණ්ඩත්වය සහ සම්මතය අභියෝගයට ලෝක කරන ආකාරය මේ උක්ත මනෝ විශ්ලේෂණ සාකච්ඡාවෙන් මතු කෙරෙයි. මේ ඔස්සේ දෙවිනුවර කාවඩි නැටුම සම්බන්ධ කතාන්දරය ආශ්‍රිත මේ තරුණ පිරිමින්ගේ කාවඩි නැටුම සංකේතාත්මක ව එළියෙන් ගත්විට මත්ද්‍රව්‍යය අලෙවිකරණ ප්‍රචාරණ වැඩසටහනක් ලෙස ඇඟවුම් කෙරේ; අනෙක් අතින් අප ප්‍රසිද්ධියේ එළිපිට කතානොකරන අපගේ සමාජය ඉදිරියේ සඟවා රහසේ රසවිදින මනෝ ආශයන් (පාතාලය ඖපචාරිකය ලෙස උපමා රූපකය ලෙස ගෙන) පිළිබද සමාජ මානව විද්‍යාත්මක පැතිකඩක් ඉන් අනාවරණය කෙරෙන බව මගේ තර්කනයයි. එනම් අසම්මත යයි ලෝකය අනුදක්නා චර්යා සියල්ල එකවර මේ උක්ත සංසිද්ධිය, අප ඉදිරියේ මුදාහරින්නේ පාතාලය සහ අසම්මත මත්ද්‍රව්‍යය යන ඖපචාරික (Metaphor and metonymy) සමාජ කේත සන්නිවේදනයක් (Social symbolic communication) ලෙස යොදාගනිමින් යන්න මාගේ තර්කනයයි.
නටන කොට මිනිස්සු ලස්සන වෙන්නත් නටන්නේ නැති මිනිස්සු කැත වෙන්නත් හේතුව නටන්න නටන්න මිනිස්සු සම්මතය ඉදිරියේ එය අභියෝගයට ලක් කරන නිසා නොවේද? එවිට රටේ නීතිය හෝ සදාචාරය හෝ සම්මතය හෝ ශිෂ්ඨ කම බල්ලට දමා එළිපිට ඉදිරියට එන්නේ ඒ රටේ මිනිසුන්ගේ ඇත්ත සැබෑ මහපොළොවේ ආශා අවශ්‍යතා පමණක් නොවේ. එනම්, සාදු ශිෂ්ඨ වංශවත් ජනයා සුදු රෙද්ද යට සැඟ ව සිට නීතිය සදාචාරය සහ සභ්‍යත්වය යන ශිෂ්ඨ සම්මත සාදු සංස්කෘතික වටිනාකම් ප්‍රමිති මේ ඔක්කොම තමන් විසින් සපුරා ලන පිළිපදින බව මින් සමාජයට ඇඟවුම් කරයි. අර සමාජය ඉදිරියේ සඟවා තබන අශිෂ්ඨ යයි කියන මිනිසුන් සියල්ලන්ගෙන් තමන්ගේ සැඟව ඇති සියලු කායික මානසික ආශා සංසිදවා ලන බෞද්ධ හෝ අබෞද්ධ භික්ෂුන් , හෝ පුජකයින් , දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, උගතුන් යන මේ සියලු සමාජය අරා ඉහළින් වන්ජබෙන උත්තුංග උසස් පන්තියේ මිනිස්සු පාතාලය ඉදිරියට දමා තමන්ගේ ඇත්ත අවශ්‍යතා රිසි සේ සාමජයට හොරා තෘප්ත කරගනිති. මේ ඔස්සේ මෙකි සාදු ජනයා රටේ තරුණ මිනිසුන්ගේ ඇත්ත මහපොළොවේ ආශා සභ්‍යත්ව සංස්කෘතික කඩතුරාවෙන් වසා සඟවා දමයි. මේ පිරිවැසුම ඔස්සේ සුපිරි ප්‍රභූ පන්තිය පෙනීසිටින්නේ සභ්‍ය ශිෂ්ඨ සම්මත පිරිසක් ලෙස ය, නමුත් බොහෝ දෙනා සැඟව තමන්ගේ ජිවිත පවත්වාගෙන යන්නේ පාතාල ලෝකයේ ප්‍රචණ්ඩ අශිෂ්ඨ අසම්මත යයි තමන් විසින්ම නෛතික පුස්තක ව්‍යවස්ථා බවට පත්කරගෙන තිබෙන වගන්ති ප්‍රකාරව ම ය.
මත්ද්‍රව්‍යය අවශ්‍ය වන්නේ කුමකටද ? මත්පැන් අවශ්‍ය වන්නේ කුමකටද මිනිසුන්ට ? ඒ මදකට සැබෑ ලෝකයෙන් වියුක්තව සිහින ලෝකයක පියාසර කිරීමටය; එය වින්දනයකි, මධු විතකි, සරාගයකි,සම්මතය ඉක්මවූ අසම්මත අශිෂ්ඨ සිහිනයකි මනසේ මායා රංගයෙන් මෝහනයට පත් වූ. ඉන්දියාවේ රෝමන්තික චිත්‍ර පට පෙන්වා මිනිසුන්ගේ කුස ගින්න පමණක් නොව එරටේ සියලු ප්‍රශ්න දේශපාලකයින් ඇතුළු ව්‍යපාරිකයින් උගතුන් ආදිය සාමන්‍යය ජනයාගෙන් වහන් කරන්නේ සැබෑ ලෝකයේ සත්‍ය තතු මේ සිහින චිත්‍රපට මගිනි. ලංකාවේ එය කරන්නේ දැනගෙන හෝ නොදැන මත්ද්‍රව්‍යය වලින් සහ පාතාල ප්‍රචණ්ඩ පුරුෂ විෂයික බාහු බල කාවඩි නටන තරුණ ප්‍රජාවක් බිහිකරමිනි. මේ පසුපස තිබෙන්නේ මිනිසුන්ගේ ජිවිතයේ සැබෑ මහපොළොවේ ආශා වසාලන ව්‍යවස්ථා නීති අණපනත් ඇතුළු ආගමික සංස්කෘතික සමාජීය සභ්‍යත්ව යන ව්‍යාජ දුෂිත සභ්‍යත්ව - සංස්කෘතික ( හොද - නරක පිළිබද ) දේශපාලන බල ව්‍යාපෘතියකි.
දෙවිනුවර පෙරහැරේ නටන ලස්සන කඩවසම් ධීවර තරුණ පිරිමි මිනිසුන්ගේ කාවඩි හිටිහැටියේ පාතාල කල්ලියකගේ දුරකථනයකින් වසන්න ට තරම් රජය ඇතුළු පොලිස් ආරක්ෂක අංශ ඉක්මන් වන්නේය; නැවත හනික එය ඉවත්කර ලොකුම ලොකු රාජ්‍යය ආරක්ෂාවක් දී නැවත පාතාල කල්ලි වල අණ නොතකා රජයකට දෙවිනුවර දෙවියන්ගේ බලය ටත් වඩා බලයක් ගෙන එන්න හැකිව නැවත රිසි පරිදි කාවඩි නැටුම් නටන්න අවසර දෙන්නත් හැකි වෙන්නේය. ඒ මේ පවතින සමාජයට ( රාජ්‍යයට ) මත්ද්‍රව්‍යය සහ පාතාලය හෝ වෙන යම් පුරුෂ විෂයික බාහු බල ප්‍රචණ්ඩ ආධිපත්‍යයික බලයකට අනුව නැටවෙන්න හැකි වෙන්නේය. ඒ මේ අප ජීවත්වෙන සමාජය ඇත්ත හංගා සඟවා තබා ව්‍යාජය බොරුව මතින් තමන්ගේ සියලු ඇත්ත අවශ්‍යතා තෘප්ත කරගන්නා නිසාය. අපගේ සැබෑ ආශාව පාතාල කල්ලි මත ප්‍රචණ්ඩත්වය මතින් ඉටු කරගන්න තරම් තවමත් මේ තරම් අප වෙසෙන ගෝලීය දකුණේ සංස්කෘතික සමාජය වංක රාජ්‍යයක් පවත්වාගෙන යන්නේය යන්න මගේ තර්කනයයි.
දෙවිනුවර දේවාලයේ වාර්ෂිකව පවත්වන කාවඩි නර්තනය මෙතරම් තරුණ පිරිමින්ගේ දාහය නිවාලන්නේය; ඒ මේ සඟවාගෙන කෙරෙන සියලු රහසිගත චර්යාවන්හි මනෝ පීඩන ස්වරය එකවර මුදාහරින නර්තනයක් වීමෙනි. අප තවමත් ජීවත්වෙන්නේ සිතෙන් හදා ගත් නමුත් ඇස පනා පිට දිස් වෙන වේදිකා නාට්‍යයක රංගයකින් මුසපත් ව සිටින මිනිස් සිතෙන් ම හදා ගත් මායාවී සිහිනයක ය; " භරතමුණිට අනුව නාට්‍යය යනු සියලුම විද්‍යා, කලා, ජීවන අත්දැකීම් සහ මනුෂ්‍ය හැසිරීම් එකට එකතු කරන සම්පූර්ණ කලා මාධ්‍යයකි. එය සමාජය, ආගම, දර්ශනය, සදාචාරය සහ මිනිස් ජීවිතය පිළිබිඹු කරන "පංචම වේදය" ලෙසද සැලකේ(හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, 2007).
ජෝඅන්නා කිඉලිනොහොමොකු (Joann Kealiinohomoku,1976) දක්වන පරිදි "නර්තනය යනු, අවකාශය තුළ මිනිස් ශරීරයේ චේතනාන්විත හා රිද්මයානුකූල චලනයන් මගින් ප්‍රකාශ වන කාලික කලාත්මක ප්‍රකාශනයකි. එය අරමුණු සහිතව තෝරාගත් හා පාලනය කරන ලද ශරීර චලන රටා මත පදනම් වේ; එම චලනයන් යම් සංස්කෘතියක නර්තන සම්ප්‍රදායට අනුව නර්තනයක් ලෙස රංගන ශිල්පීන් සහ ප්‍රේක්ෂකයන් විසින් හඳුනාගෙන පිළිගනු ලබයි." මිනිසුන්ගේ සැබෑ රෝමන්ත්තිකය සහ ආශාව යටගසා එමගින් ම මතුවෙන ප්‍රභූ ජනප්‍රිය සම්මත ලෝකයේ අධිපතින් ජීවත්වෙන්නේ මේ රංගය මත තවත් රංගයක කොටු වීමෙනි.
ජුඩිත් ලින්නේ හන්නා (Judith Lynne Hanna,1987) දක්වන පරිදි "නර්තනය යනු, නිශ්චිත අරමුණක් මත පදනම්ව, චේතනාන්විතව රිද්මයානුකූල ලෙස සංවිධානය කරන ලද, සංස්කෘතික සම්මතයන් හා රටාවන්ට අනුකූල වූ, අවාචික ශරීර චලන අනුක්‍රමවලින් සමන්විත මානව හැසිරීම් ආකාරයකි." ඒ අනුව , අපි බොහෝ දේ අවාචිකව අප්‍රකටව ප්‍රකාශ කරගන්නෝ වෙමු.
ලංකාවේ තරුණ මිනිසුන්ගේ සැබෑ ආශා අවශ්‍යතා යට ගසා ඒවා පෙරහැර වල විස්තාරණය වේ. දෙවිනුවර කාවඩි නර්තනය යනු, කාලය හා අවකාශය යන මාන දෙක තුළ ක්‍රමවත් ලෙස සංවිධානය කරන ලද, මිනිස් ශරීරයේ චේතනාන්විත, රිද්මයානුකූල හා ප්‍රකාශනශීලී චලන මාලාවක් මඟින් සෞන්දර්යාත්මක, චිත්තවේගීය, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාත්මික අර්ථයන් නිර්මාණය කිරීම හා සන්නිවේදනය කිරීම අරමුණු කරගත් ප්‍රකාශන කලාවකි.
නුතන සන්නිවේදන විද්‍යාව සහ විචාරාත්මක සංස්කෘතික සහ මානව විද්‍යා මිශ්‍ර කායික ව්‍යවවිච්චේද භෞතික විද්‍යා දැනුම ට අනුව ශරිරාත්මක සන්නිවේදනය (embodied communication) ඔස්සේ නිර්වචනය කරන විට, "නර්තනය යනු, කාලය හා අවකාශය තුළ මිනිස් ශරීරයේ චේතනාන්විත, අරමුණු සහිත හා රිද්මයානුකූල චලන සංවිධානයක් මඟින් හැඟීම්, අදහස්, කථාන්දර සහ සංස්කෘතික අර්ථයන් ප්‍රකාශ කරන කලාත්මක ප්‍රකාශනයකි. භරතමුනිගේ නාට්‍යශාස්ත්‍රය අනුව නර්තනය භාව (Bhāva) ප්‍රකාශ කරමින් ප්‍රේක්ෂකයා තුළ රස (Rasa) නම් සෞන්දර්යාත්මක අත්දැකීම උද්දීපනය කරයි. එමෙන්ම, නූතන නර්තන විද්වත් දෘෂ්ටිකෝණයට අනුව, නර්තනය යනු කලාත්මක, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාත්මික අර්ථයන් සම්ප්‍රේෂණය කරන, ශරීරාත්මක (Embodied) විශ්වීය සන්නිවේදන ක්‍රමයකි."
නාට්‍යය පිළිබඳ භරතමුණිගේ නිර්වචනය වන්නේ "න තජ් ජ්ඤානං න තච් ශිල්පං, න සා විද්‍යා න සා කලා , නාසෞ යෝගෝ න තත් කර්ම, නාට්‍යේස්මින් යන්න දෘශ්‍යතේ ", එහි සිංහල අරුත වන්නේ , "නාට්‍යය තුළ දක්නට නොලැබෙන මෙලොව ඇති එවැනි දැනුමක් නැත; ශිල්පයක් නැත; විද්‍යාවක් නැත; කලාවක් නැත; යෝගයක් නැත; කර්මයක් නැත(හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, 2007). කැනේඩියානු - ඇමරිකානු සමාජ මනෝවිද්‍යාඥ ඉර්වින් ගොෆ්මන් ට අනුව නර්තනය, නාට්‍යය, රංගය මගින් සත්‍යය යටපත් කර තිරය පසුපස ඇති සැබෑ සත්‍යය (backstage ), එළිපිට ව්‍යාජ සත්‍යයක් ලෙස රංග ගත කරන ආකාරය (front stage) ඇසුරෙන් අප දෛනික ජිවත්වෙන ආකාරය (The Presentation of Self in Everyday Life) එසේ වන දෙයක් බව දක්වයි (1959).
නිගමනය
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය ( රාජ්‍යය ) විසින් ආරක්ෂක හේතු මත තාවකාලික සීමා පැනවීම, සාම්ප්‍රදායික ආගමික චාරිත්‍රයක් තුළ සංස්කෘතික ප්‍රාසංගිකත්වය, රාජ්‍ය ආරක්ෂාව සහ සමාජ බල ව්‍යුහයන් අතර පවතින සංකීර්ණ සම්බන්ධතාව පිළිබඳ නව සංවාදයක් විවෘත කරයි. නිල වාර්තා අනුව මෙම තීරණයට පදනම් වූයේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර ඇතිවිය හැකි ගැටුම් පිළිබඳ බුද්ධි තොරතුරු ය; එමඟින් ප්‍රධාන වශයෙන් අවධාරණය වන්නේ ආගමික උත්සවය නොව, එහි ආරක්ෂාව පිළිබඳ රාජ්‍යයේ වගකීමයි. එහෙත් සංස්කෘතික අධ්‍යයන දෘෂ්ටිකෝණයකින් බැලූ විට, මෙම සිදුවීම සංස්කෘතික අවකාශයන් කෙරෙහි බලය සඳහා විවිධ සමාජ කණ්ඩායම් අතර ඇතිවන තරගය පිළිබඳ උදාහරණයක් ලෙසද විග්‍රහ කළ හැකිය (ටර්නර්, 1969; කොනෙල්, 1995).
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තනයේ ප්‍රධාන දායකත්වය දරන්නේ තරුණ ධීවර පිරිමි කණ්ඩායම් වීම විශේෂ සමාජ විද්‍යාත්මක වැදගත්කමක් දරයි. එක සරමකට රුපියල් පනස් දහසක් ,තිස්පන්දහසක් වැනි මුදලක් වියදම් කරන්නේ කෙසේද? එය දේව භක්තිය ද නැතිනම් මත්ද්‍රව්‍යය හෝ වෙනත් අනුග්‍රාහක අලෙවිකරණ ප්‍රචාරණයක් ද? ඔවුන්ගේ කයේ යටට සරම පමණක් හැද, නිරාවරණය වූ උඩුකය, රිද්මයට අනුකූල වූ ශක්තිමත් චලනයන්, දිගු කාලයක් පුරා ශාරීරික වෙහෙස දරාගෙන නර්තනය කිරීම සහ සමූහ විනය, පුරුෂ ශරීරය සමාජ හා සංස්කෘතික වශයෙන් නිර්මාණය වන ආකාරය පැහැදිලි කරයි. රෝවන් කොනෙල් (1995) පෙන්වා දෙන පරිදි, පුරුෂ විෂයික භාවය යනු ස්ථාවර ජීව විද්‍යාත්මක ගුණයක් නොව, සමාජය තුළ නැවත නැවතත් ප්‍රාසංගිකත්වය (performance) දක්වන සංස්කෘතික අනන්‍යතාවකි. කාවඩි නර්තනයේදී මෙම ප්‍රාසංගිකත්වය භක්තිය, විනය, ශාරීරික ශක්තිය සහ සාමූහික වගකීම සමඟ බැඳී පවතින අතර, එය ප්‍රචණ්ඩත්වය හෝ ආධිපත්‍යය පමණක් නොව, ආගමික කැපවීමද ප්‍රදර්ශනය කරන්නකි.
එහෙත් නූතන ශ්‍රී ලංකාව තුළ මෙම සාම්ප්‍රදායික පුරුෂ ප්‍රාසංගිකත්වය තවදුරටත් හුදකලා සංස්කෘතික ක්ෂේත්‍රයක් නොවේ. එය ඩිජිටල් මාධ්‍ය, සමාජ මාධ්‍ය වේදිකා සහ ජංගම දුරකථන වීඩියෝ මඟින් නිරන්තරයෙන් පටිගත කරනු ලබන, ප්‍රචාරණය සහ නැවත අර්ථකථනය කරනු ලබන දෙයකි. මේ අනුව, කාවඩි නර්තනය ආගමික චාරිත්‍රයක් පමණක් නොව, ඩිජිටල් දෘශ්‍ය සංස්කෘතියේ (digital visual culture) කොටසක් බවටද පත්වේ. නර්තන ශිල්පීන්ගේ ශරීර, රිද්මය, ඇඳුම්, චලන සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර TikTok, Facebook, YouTube සහ Instagram වැනි සමාජීය ජාල මාධ්‍ය මත වේදිකාවලින් නැවත සංසරණය වන අතර, හෙන්ද්‍රි ජෙන්කින්ස් දක්වන ආකාරයට එමඟින් දේශීය ආගමික චාරිත්‍රයක් ගෝලීය ඩිජිටල් ප්‍රේක්ෂකයන් වෙතද ළඟා වේ ( 2006). එහි ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ කඩවසම් තරුණ හැඩිදැඩි ධීවර තරුණ පිරිමි ශරීරය ආගමික වස්තුවක් පමණක් නොව, දෘශ්‍ය පරිභෝජනය, සමාජ ප්‍රසිද්ධිය, පුරුෂ පුරුෂ තරුණ කායික සහ මානසික රෝමාන්තික ප්‍රේමය හෝ සහ සරාගය, පුරුෂ විෂයික ලිංගික රසාශය වඩවන සහ ඩිජිටල් අනන්‍යතාව ගොඩනඟන මාධ්‍යයක් බවටද පරිවර්තනය වේ.
මෙම සන්දර්භය තුළ සංවිධානාත්මක අපරාධ ජාල සහ සංස්කෘතික අවකාශ අතර ඇති විය හැකි අන්තර්සම්බන්ධතාවද සමාජ විද්‍යාත්මකව විමසා බැලිය යුතුය. මෙහිදී කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ කාවඩි නර්තනය හෝ නර්තන ශිල්පීන් අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධද යන්න නොව, තරුණ පිරිමි එකතු වන, මහජන අවධානය ලැබෙන සහ ඉහළ සංකේතාත්මක වටිනාකමක් ඇති සංස්කෘතික අවකාශයන් කෙරෙහි විවිධ බල කණ්ඩායම් බලපෑම් කිරීමට උත්සාහ කරන්නේ කෙසේද යන්නයි. පිය බෝද්යු (1986) පෙන්වා දෙන පරිදි, සංස්කෘතික ප්‍රාග්ධනය (cultural capital) සහ සංකේතාත්මක බලය (symbolic power) ද සමාජ බලයේ වැදගත් ආකාරයන් වේ. එබැවින් ආගමික පෙරහැරක් තුළ දෘශ්‍යමාන වීම හෝ සංවිධානමය බලපෑමක් ලබාගැනීම, සංකේතාත්මක ප්‍රාග්ධනයක් අත්පත් කරගැනීමේ උත්සාහයක් ලෙසද විග්‍රහ කළ හැකිය.
තවද, කාවඩි නර්තනය, නාච්චි (Nāchchi) නර්තන සම්ප්‍රදායන් සහ ශ්‍රී ලංකාවේ පුරුෂ ශරීර ප්‍රාසංගිකත්වය අතර සම්බන්ධය ද ස්ත්‍රී–පුරුෂ අනන්‍යතා අධ්‍යයනය සඳහා වැදගත් ක්ෂේත්‍රයකි. ශ්‍රී ලංකාවේ ඇතැම් ජන නර්තන සම්ප්‍රදායන් තුළ පිරිමින් විසින් ස්ත්‍රී චලන, ස්ත්‍රී ඇඳුම් හෝ ස්ත්‍රී චරිත ප්‍රාසංගිකත්වය ඓතිහාසිකව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම පුරුෂ ප්‍රාසංගිකත්වයන් ලිංගික අනන්‍යතාව හෝ සමලිංගික ආශාව සමඟ ස්වයංක්‍රීයව සමාන කළ නොහැක. ඇමරිකානු රංග කලා අධ්‍යක්ෂක රිචර්ඩ් ශේෂ්නර් පෙන්වා දෙන ආකාරයට, ප්‍රාසංගිකත්ව අධ්‍යයන (performance studies) ඔස්සේ පෙන්වා දෙන්නේ, ආගමික හා ජන චාරිත්‍රවලදී ස්ත්‍රී–පුරුෂ භූමිකා රංගනය බොහෝවිට චාරිත්‍රානුකූල, සෞන්දර්යාත්මක සහ සංකේතාත්මක අරමුණු සඳහා සිදුවන බවයි (2013). එබැවින්, නාච්චි නර්තනය, කාවඩි නර්තනය සහ පුරුෂ ශරීර කාර්යසාධනය අතර ඇති සමානතා සහ වෙනස්කම්, ලිංගිකත්වය, පුරුෂත්වය සහ ආගමික කාර්යසාධනය පිළිබඳ වඩාත් ගැඹුරු ගුණාත්මක පර්යේෂණ මඟින් විමසා බැලිය යුතුය.
මෙම සියලු කරුණු එකට සැලකූ විට, දෙවිනුවර කාවඩි නර්තනය පිළිබඳ මෑත සිදුවීම පාතාලය සහ මත්ද්‍රව්‍යය ආශ්‍රිත ප්‍රචණ්ඩත්වය පිළිබද රටේ අභ්‍යන්තර ආරක්ෂක ගැටලුවක් පමණක් නොවේ. එය, ආධිපත්‍යයික පුරුෂ විෂයික භාවය, තරුණ සංස්කෘතිය, ඩිජිටල් මාධ්‍ය, සංස්කෘතික ප්‍රාග්ධනය, ආගමික චාරිත්‍ර සහ රාජ්‍ය බලය යන ක්ෂේත්‍ර එකිනෙක හමුවන සංකීර්ණ සමාජ–දේශපාලනික අවකාශයක් ලෙසද තේරුම් ගත හැකිය. එබැවින්, මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ තරුණ පුරුෂයන්ගේ ශරීර ප්‍රාසංගිකත්වය, සංස්කෘතික අනන්‍යතාව සහ නූතන සමාජ පරිවර්තනයන් අතර පවතින අන්තර්සම්බන්ධතා අධ්‍යයනය සඳහා වැදගත් සමාජ මානව විද්‍යාත්මක සන්නිවේදන පර්යේෂණ අවස්ථාවක් සපයයි.
ආශ්‍රේය ග්‍රන්ථ නාමාවලිය
Ariyarathne, K. (2022). Priest, woman and mother: Broadening the horizons through transgender/nachchi identities in Sri Lanka. Sri Lanka Journal of the Humanities, 43(2). https://doi.org/10.4038/sljh.v43i2.7269
Ariyarathne, K. (2025). Transgender sex work in Sri Lanka: The politics of Nachchi sex workers. Palgrave Macmillan. https://doi.org/10.1007/978-3-031-91540-6
Bourdieu, P. (1986). The forms of capital. In J. G. Richardson (Ed.), Handbook of theory and research for the sociology of education (pp. 241–258). Greenwood.
Clothey, F. W. (1978). The many faces of Murukan: The history and meaning of a South Indian god. Mouton.
Connell, R. W. (1995). Masculinities. University of California Press.
Connell, R. W., & Messerschmidt, J. W. (2005). Hegemonic masculinity: Rethinking the concept. Gender & Society, 19(6), 829–859.
Dean, T. (2000). Beyond sexual identity: Lacan and the limits of queer theory. Stanford University Press.
Freud, S. (1910). Leonardo da Vinci and a memory of his childhood. Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Vol. 11. Hogarth Press.
Freud, S. (1914). On narcissism: An introduction. In J. Strachey (Ed.), The standard edition of the complete psychological works of Sigmund Freud (Vol. 14, pp. 67–102). Hogarth Press.
Freud, S. (1905/1953). Three essays on the theory of sexuality. In J. Strachey (Ed. & Trans.), The standard edition of the complete psychological works of Sigmund Freud (Vol. 7, pp. 123–246). Hogarth Press.
Jenkins, H. (2006). Convergence culture: Where old and new media collide. New York University Press.
Kaeppler, A. L. (2000). Dance ethnology and the anthropology of dance. Dance Research Journal, 32(1), 116–125.
Lacan, J. (1977). Écrits: A selection (A. Sheridan, Trans.). W. W. Norton. (Original work published 1966)
Lacan, J. (1978). The seminar of Jacques Lacan, Book XI: The four fundamental concepts of psycho-analysis (A. Sheridan, Trans.). W. W. Norton. (Original work published 1973)
Lacan, J. (1998). The seminar of Jacques Lacan, Book XX: Encore, on feminine sexuality, the limits of love and knowledge, 1972–1973 (B. Fink, Trans.). W. W. Norton. (Original work published 1975)
Miller, J., & Nichols, A. (2012). Identity, sexuality and commercial sex among Sri Lankan nachchi. Sexualities, 15(5–6), 554–569. https://doi.org/10.1177/1363460712446120
Goffman, E. (2002). The presentation of self in everyday life. 1959. Garden City, NY, 259, 2002.
Hanna, J. L. (1987). To dance is human: A theory of nonverbal communication. University of Chicago Press.
Jinadasa, M. (2026). Queering the Vinaya: same-sex desire, discipline, and the monastic body in Sri Lanka’s Buddhist Sangha, exploring hidden intimacies and institutional tensions in young Buddhist monks’ experiences. Journal of Gender Studies, 1-19.
Kealiinohomoku, J. (1976). Theory and Methods for an Anthropological Study of Dance.
Paññākitti, Hiripitiye. (2007). නාට්‍යශාස්ත්‍රය (Nāṭyaśāstraya). Godage International Publishers.
Parakrama, I. (2024, June 2). ‘Nachchi’: A beacon of Sri Lanka’s indigenous gender identity. Lanka News Web.
Schechner, R. (2013). Performance studies: An introduction (3rd ed.). Routledge.
Sedgwick, E. K. (1985). Between men: English literature and male homosocial desire. Columbia University Press.
Turner, V. (1969). The ritual process: Structure and anti-structure. Aldine Publishing.
Younger, P. (2002). Playing host to deity: Festival religion in the South Indian tradition. Oxford University Press.
ඡායාරූපය ලබා ගත්තේ ; https://www.tiktok.com/@milan_harsha/video/7602170013205712135