Wednesday, August 26, 2026







මෝඩයා උඹ මෝඩයා...!!!




ආදරය කරන බව ඔබට මා

පුරා විසිවසක් නොදත් ඔබ,

මුළු ලොවක් දන්නා 

ඔබ නොදන්නා 

මෙතෙක් කල්

කෙලෙස මා ළඟ ගැවසී,

කුමට මා ළඟ ගැවසී...?



කියන්න එපෑ ඒ බවක්,

ඇයි කිව්වේ නැත්තේ මට

කලින්ම...?



“ඔබ මට ආදරෙයි”

කියන්නට

මම කෙනෙක් හොයාගන්නා කල්

හිටියේ ඇයි ඔබ?



කිවේ ඔබ

විසිවසක් ඉක්මවා

මගේ ලෝකයේ

සියලු හද සේසතම

සොරා ගෙන 

පොදි කරන්,

සිරකරන්,

අරන් ගොස්,

සිදීත් ඉවර වූ පසුත්

ආයේ වෙන කෙනෙකුට දෙන්න 

ඉතිරි කර ගත්තේ නෑ 



ඔබ ආදරය

වෙන අයෙකුට පුදා ඇති බව

දැනගත් මොහොතේම

“යන්න... ඔබ යන්න...”

මෙහි නොසිට තත්ත්පරයක් 

මවෙතින් නික්මී...



ගරු කරමි

ඔබේ ප්‍රේමයට.


ඔබට ඕනේ දේ

දනිමි මම.


දුර ඉඳන්

හැකි සෑම දෙයක්ම

ඔබට කරන්නම්,

ඔබට අවැසි විලස...

මෙතෙක් කල් කළ විලසම 

ඔබටම අවැසි ලෙස 


“යන්න... ඔබ යන්න...

ඉන්න එපා

මා අසලකවත්.”


හිත හදාගන්න මට,

නොමියෙන්න මට,

කියද්දීත්

ඇයි නොගොස්

මෙහි රැඳුණේ?

තවතවත් 

මොනවටද මෙහි රැදුනේ 



“මටත් යන්න බෑ එහෙම...”

ඔබ කියන විලස

මේ හනික

යැයි කියා

මට කිව්වේ...


යනවා නම්

ඔබ යන්නේ

එක කකුලක් මෙහි තබා,

අනෙක් කකුල එහි තබා,

අඩමානව සිටින

මේ මොහොත

ඉක්මණින් පසුකරන්,

සදහටම

කකුල් දෙකම එහි තබාගත්

පසුව බව...


දැන දැනත්

මම සිටියේ...


කුමකටදැයි

නොදත් ඔබ,

තව තවත් ළඟ ඉඳන්,

ගිහිල්ලත් සිටින්නේ...

මොනවටද?



මගේ ගත් හද ණය

ගෙවන්නට නම් නොවේ,

තව තවත් ණය වෙන්න බව

දැන දැනත්

මම සිටියේ...


කුමට බව

ඔබ නොදත්,

බව දැනත්

තව තවත්

මම සිටිමි...


වෙන තැනකට

පියාසර කරන්නට තරම්

තවත් හද පණ කොදක්වත්

ඉතිරිම ඉතිරි නැතිව...


එකපාර,

හිටිහැටියේ,

ඉගිළ යන ආදරය

කරන්නට

ඔබට හැකි වූ විලස

නොහැකි මට...



ලෝකයා හිනාවෙයි


“මෝඩයා...

උඹ මෝඩයා...”


උඹව අන්දන් හොඳටෝම,

ගලවනවා උඹේ

හද සේසතම...


දැන්වත්

උඹට ආදරය කරන එකෙකුට

කරාපන් ඔය උඹේ

ගොබ්බම ගොබ්බ

ආදරය...


“මෝඩයා...

උඹ මෝඩයා...”




Saturday, August 8, 2026




හිටිහැටියේ "සිරගෙවල්" (සහ "වංශවත් සොරුන්") "කුලප්පුවීම" 


හදිසියේ, එකපාර, සිරගෙවල් හිටිහැටියේ මේ කුලප්පුවීම සහ අධිකරණයෙන් චෝදනා ලත් එතෙක් මෙතෙක් සිටි ඉතාමත් ඉහළ නිළධාරීන් සිරගෙවල් වලට ගාල් කිරීම අතර කිනම් සහසම්බන්ධතාවක් ඇතිදැයි සෙවීමට මා නිතැතින් ම බලකරයි.

නිකමට වගේ දකින්න අහන්න නම් ලැබෙන්නේ සිර මැදිරි ප්‍රමාණවත් නොවීම, එකට දස ගුණයක පිරිසක් සිරගෙවල වල තැබීමෙන් ලද පීඩනය, සිරගෙවලට කුඩු ආදී මත්ද්‍රව්‍යය නොලැබීම ... යනාදිය නිසා සිරගෙවල් කුලප්පු ව ඇති බවයි. 

නමුත්, පාස්කු ප්‍රහාරයේ ඇතැම් චුදිතයින්ට අධිකරණයෙන් දඩුවම් ලද විගසින් පසුදා සිට හිටිහැටියේ සිරගෙවල් මේ හදිසියේ කුලප්පු වෙන්නේ අදෝමැයි මට මේ ඇති තතු සෙවීමේ කුහුලක් ඇතිව තිබේ.

කෙසේ නමුත් මේ උක්ත සාධක අතර කිනම් හෝ සහේතුක ප්‍රත්‍යානුප්‍රත්‍ය දැඩි සබදතාවක් නම් මනාව දිස් වේ. එනම් අධිකරණයෙන් දඩුවම් ලබා  ක්‍රමයෙන් සිරමැදිරි වලට ගාල් වන එතෙක් මෙතෙක් සිටි මහේශාක්‍ය අධිපති වංශවත් පිරිස් හෝ ඒ අය විසින් සෘජුව මෙහෙයවන ලද අන්තේවාසිකයින් සහ දැනට සිරමැදිරි වල සිටින පිරිස් අතර වඩා විශ්වාසදායි අකම්පිත ආලයක් සහ අනුජාත සදාතනික ලීලයක් පවතින බව නම් සැක නැත. 

වංශවතුන්ගේ ඇතැමුන් පසුගිය කාලයේ මහජන ධනය රාජ්‍යය දේපල ඉතාමත් නිර්ලජ්ජිතව සොරාකෑම නිසා ම අප අද ඉතාමත් ඉහළ රාජ්‍යය බද්දක් දෛනික වැටුපේ සිට රජයට ගෙවමින් සිටිමු. රටක් ලෙස මේ මොහොතේ බහුතරයක් මේ රටේ මිනිසුන් ජීවත්වෙන්නේ එකට හතරගුණය ඉක්ම වූ ජිවන වියදමක් අනවශ්‍ය ලෙස ගෙවමිනි. අනෙක් අතින්, ඉතාමත් අතලොස්සක් පමණක් ඉතාමත් කෙටිකලකින් සීඝ්‍ර ව ආර්ථික දියුණුවක් ලැබීම සහ බහුතරය විසින් ඉහළ බද්දක් ගෙවමින් රාජ්‍යය පවත්වාගෙන කැපී පෙනේ. එමෙන්ම, අනෙක් අතින් මත්ද්‍රව්‍යය උවදුර සමාජීය වසංගත, ආදී නන්විධ ආකාරයෙන් මේ අයුරින් රටේ ආර්ථික පමණක් නොව සමාජීය -සංස්කෘතික අධ්‍යාපනික අධ්‍යාත්මික ආදී සදාචාර ආචාර සමාචාර පක්ෂය සුණුවිසුණු වීම ඔස්සේ පොදු මහජන සෞඛ්‍යය සහ ජීවිතය අත්‍යන්තයෙන් ම අගාධයකට වැටීම අප නිදහසින් පසු අත්විද ඇති ඉතාමත් අභාග්‍යය වන්නේය. මේ සියලු ආර්ථික සහ සමාජීය දුප්පත්කමේ පත්ලේ සැගව ඇත්තේ රටේ මහජන ශ්‍රමය සහ ධනය බරපතල ආකාරයෙන් සොරාකෑම, එය නීතිය හෝ අධිකරණය මගින් නිසි සේ හසුනොකර රටේ චෞර සිවිල් මහජන බලයක් අධිපති බලැති ජන මතය සහ කැමැත්ත බවට පත්කරගෙන එය පවුල පාසල ආගම ඔස්සේ මෙතෙක් ආරක්ෂා කිරීමය. 

එක්කෝ වී ඇත්තේ රටේ ඉතාමත් අහිංසක දුර්වල දුප්පත් මිනිසුන් පමණක් සිරගෙවලට යවා ඔවුන් එතෙක් මෙතෙක් හසුරවන ලද වුන් අප ඉදිරියේ වංශවතුන් ලෙස සමාජයේ සංස්කෘතියේ ආර්ථිකයේ අධිපතින් ලෙස ව්‍යාජ ව පෙනී සිටීමයි. හෝ එසේ නැතිනම්, එසේම  එතෙක් මෙතෙක් සොරුන් මන්පහරන්නන් ලෙස අපරාධකරුවන් බවට පත් කල දැන් දැන් මේ සිරගෙවල් වලට යන ඉහළ වංශවත් අධිපති ඉහළ නිලතල දරණ මිනිසුන් දැන් අප ඉදිරියේ සැබෑ අපරාධකරුවන් බවට පත්ව එකිනෙකා අධිකරණය විසින් අපරාධකරුවන් බවට පත් කිරීමයි.  මේ හිටිහැටියේ සිරගෙවල් කුලප්පුවන්නේ උනුන් කවදාවත් නොසිතු ආකාරයෙන්, අප එතෙක් මෙතෙක් සමාජයේ නොදැක්ක ආකාරයෙන් වංශවතුන් සහ උනුන්ගේ අන්තේවාසිකයින් යන දෙපිරිසම සිරගෙවල්  වල එකට සහවාසයකට පත්වීම නිසාද ?   

අපරාධය ඇතිවෙන්නේ අධිපති සංස්කෘතියේ මෙහෙයවීම මත බවත්, බලවත් ආධිපත්‍යයික සමාජීය සංස්කෘතික වටිනාකම් සහ ධර්මතා අනුව මෙහෙයවීම සමාජයේ ඇති නැති පරතරය වැඩිකිරීමට හේතුවන බවත් අන්තෝනියෝ ග්රම්ස්කි දක්වයි. ඒ ඔහුගේ සංස්කෘතික ආධිපත්‍යය නමැති නිබන්ධය ඔස්සේය.  ආර්ථික පරිහානියේ රහස සංස්කෘතියේ දුප්පත්කම හෙවත් අධිපති වංශවත් නමින් දුෂිත ව්‍යාජ මිත්‍යා වටිනාකමක් රෝපණය කිරීමෙන් සුළුතරයක් සමාජයේ ඉහළ පැලැන්තිය බවට පත්වීමෙනි. ,ඒ ආධිපත්‍යයික බලය ඔස්සේ සංස්කෘතියත්, සංස්කෘතික වටිනාකම් ඉස්සරහට දමා මහජන කැමැත්ත සහ විශ්වාසය දිනා ගැනීමත්, මේ සංස්කෘතික සුත්‍රය ඔස්සේ සමාජීය ආධිපත්‍යය ( Power → Culture → Consent → Hegemony) පවත්වාගන්නා ආකාරය මෙහිදී පැහැදිළි  කෙරේ. මේ ආකාරයෙන් සෛද්ධාන්තික ව උක්ත සිරගෙවල් හදිසියේ කුලප්පුවීමත්  සහ මහා ධන බලති වංශවත් අධිපතින් අධිකරණයෙන් අපරාධකරුවන් බවට පත් කර සිරගෙවලට යාමත් අතර ඇති සහසම්බන්ධතාව පැහැදිලි කර ගත හැක. 

මාධ්‍යය ඉදිරියේ චිත්තවේගී ප්‍රේක්ෂාවක් නිර්මාණය කිරීම පිණිස මේ සංසිද්ධිය ප්‍රපංචයක් වන ආකාරය ස්ටුවර්ට් හෝල් විචාරාත්මක සංස්කෘතික සන්නිවේදන අධ්‍යයනයේදී පැහැදිළි  කරයි.

ජෝක් යුන් නමැති විචාරාත්මක අපරාධවිද්‍යාධරයා දක්වන්නේ මේ අයුරින් අධිපති සංස්කෘතික බලය දේශපාලන බලයක් බවට පත්කරගැනීම නිසා සමාජයේ අපරාධමය කාලගුණයක් සකසමින් සමාජ අපගාමිත්වය සහ සමාජ අසමානතාව නිර්මාණය කිරීම දේශපාලන බලය පවත්වාගෙන යාමේ උපකරණයක් ලෙස දක්වයි. 


නිගමනය


ග්‍රැම්ෂියානු (Gramscian) දෘෂ්ටිකෝණයෙන් සලකා බැලූ විට, ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික වශයෙන් අවදානමට ලක්ව ඇති කණ්ඩායම් වැඩි වශයෙන් සමාජීය අන්තීකරණයට (marginalisation) ලක්වීම “සංස්කෘතික ආධිපත්‍යය” (Cultural Hegemony) යන ඇන්ටෝනියෝ ග්‍රැම්ෂිගේ සංකල්පය ඔස්සේ විශ්ලේෂණය කළ හැකිය. ග්‍රැම්ෂි (1971) පෙන්වා දෙන්නේ ආධිපත්‍යය දරන දේශපාලන හා සමාජ-ආර්ථික බල කණ්ඩායම් තම බලය පවත්වාගෙන යන්නේ බලහත්කාරී ආයතනික ක්‍රියාමාර්ග මත පමණක් නොව, පවත්නා සමාජ සම්බන්ධතා සහ බල ව්‍යුහයන් සාධාරණ, ස්වාභාවික හා පිළිගත හැකි යැයි සමාජයට පෙනෙන ආකාරයේ අදහස්, සම්මතයන් සහ “සාමාන්‍ය බුද්ධිය” (common sense) නිර්මාණය කිරීම හා ප්‍රචාරණය කිරීම මගිනි. එබැවින්, දේශපාලන, නීතිමය, මාධ්‍ය හා පරිපාලන ආයතන බාහිරව මධ්‍යස්ථ හා ස්වාධීන ආයතන ලෙස පෙනී සිටියද, ඒවා ක්‍රියාත්මක වන පුළුල් සමාජ බල ව්‍යාප්තිය හා බල සම්බන්ධතා සමඟ සම්බන්ධ කර විවේචනාත්මකව පරීක්ෂා කළ යුතුය.

ස්ටුවර්ට් හෝල් (Stuart Hall) සහ ඔහුගේ සමකාලීන පර්යේෂකයන් මෙම ග්‍රැම්ෂියානු අදහස් අපරාධය, නීතිය හා සාමය, මාධ්‍ය නිරූපණය සහ රාජ්‍ය බලය යන ක්ෂේත්‍ර වෙත පුළුල් කළහ. හෝල් යන අය . (1978) පෙන්වා දෙන්නේ ඇතැම් සමාජ කණ්ඩායම් මාධ්‍ය නිරූපණ, තෝරාගත් ප්‍රවෘත්ති නිෂ්පාදනය සහ “සදාචාරාත්මක භීතිය” (moral panic) වැනි ක්‍රියාවලීන් ඇසුරෙන් සමාජයට තර්ජනයක්, අපරාධකාරී කණ්ඩායමක් හෝ “විකෘති” කණ්ඩායමක් ලෙස නිර්මාණය කළ හැකි බවයි. එවැනි නිරූපණ සහ දේශපාලන කතිකාවන් මගින් ඇතැම් කණ්ඩායම් පිළිබඳ සමාජ අවබෝධය හැඩගස්වා, ඒවාට එරෙහිව නීතිය හා සාමය සම්බන්ධ රාජ්‍ය ප්‍රතිචාර දැඩි කිරීමට දායක විය හැකිය. ඒ අනුව, අපරාධය යනු පුද්ගලයකුගේ පෞද්ගලික හැසිරීමක් පමණක් නොව, මාධ්‍යය, දේශපාලනය, නීතිය, රාජ්‍ය බලය සහ සමාජ බල සම්බන්ධතා මගින් අර්ථකථනය කරනු ලබන සමාජීය නිර්මාණයක් ලෙස ද විශ්ලේෂණය කළ හැකිය.

මෙම න්‍යායික රාමුව සමකාලීන ශ්‍රී ලංකාවට ප්‍රවේශමෙන් යොදාගත් විට, එය ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය සෘජුවම දේශපාලන ප්‍රභූන්ගේ පාලනය යටතේ පවතින බව තහවුරු කරන ප්‍රකාශයක් නොවේ. ඒ වෙනුවට, ඉතිහාසගතව බලවත් දේශපාලන ජාල, ආයතනික අසමානතා, මාධ්‍ය කතිකාවන්, නීතියට හා යුක්තියට ප්‍රවේශ වීමේ අසමානතා සහ සමාජ බල සම්බන්ධතා මගින් බලයෙන් අඩු කණ්ඩායම් අසමාන ලෙස අපරාධකරණයට (criminalisation) හෝ සමාජීය අන්තීකරණයට ලක්විය හැකි ආකාරය විමර්ශනය කිරීමට මෙම න්‍යාය විවේචනාත්මක උපකරණයක් සපයයි. ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රියාපටිපාටියේ සාධාරණත්වය, විශේෂ ආරක්ෂක නීති භාවිතය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ පවතින විවේචනාත්මක අවධානය සැලකිල්ලට ගත් විට මෙම විශ්ලේෂණය විශේෂයෙන් වැදගත් වේ. එමෙන්ම, දේශපාලන අර්බුද සහ ආතතිකාරී අවස්ථාවන්හිදී අධිකරණය විසින් ඇතැම් අවස්ථාවලදී තම ආයතනික ස්වාධීනත්වය තහවුරු කර ඇති බව ද පිළිගත යුතුය (Freedom House, 2024).

එබැවින්, ශාස්ත්‍රීය වශයෙන් දැඩි විශ්ලේෂණයක් සිදු කිරීමේදී “අධිකරණ ස්වාධීනත්වය” ව්‍යවස්ථාපිත මූලධර්මයක් ලෙස පවතින තත්ත්වය, නිශ්චිත නඩු සම්බන්ධයෙන් සිදුවන සැබෑ අධිකරණ ක්‍රියාකාරිත්වය, ආයතන කෙරෙහි දේශපාලන බලපෑම් ඇතිවීමේ හැකියාව සහ සමාජයේ ඇතැම් කණ්ඩායම් “විකෘති”, “අපරාධකාරී” හෝ “තර්ජනයක්” ලෙස හඳුන්වා දෙන පුළුල් ආධිපත්‍යවාදී කතිකාව යන කරුණු එකිනෙකින් වෙන්කර විමර්ශනය කළ යුතුය. එබැවින්, සෑම අහිතකර අධිකරණ තීන්දුවක්ම දේශපාලන බලපෑමක් හෝ ආයතනික අල්ලාගැනීමක් (political capture) ලෙස අර්ථකථනය කිරීම මෙම න්‍යායික ප්‍රවේශයේ අරමුණ නොවේ. ඒ වෙනුවට, දේශපාලන බලය, මාධ්‍ය කතිකාව, අපරාධය පිළිබඳ සමාජීය නිර්මාණය, නීතිය, ආයතනික බලය සහ සමාජීය අන්තීකරණය අතර පවතින සම්බන්ධතාවය ක්‍රමානුකූල ආනුභවික පර්යේෂණයක් ඔස්සේ විමර්ශනය කළ යුතු බව මෙම විවේචනාත්මක න්‍යායික ප්‍රවේශය යෝජනා කරයි.


ආශ්‍රේය විමසුම් 

Cardoso, F. H., & Faletto, E. (1979). Dependency and development in Latin America (M. M. Urquidi, Trans.). University of California Press. (Original work published 1969)

Frank, A. G. (1967). Capitalism and underdevelopment in Latin America: Historical studies of Chile and Brazil. Monthly Review Press.

Freedom House. (2024). Freedom in the world 2024: Sri Lanka. Freedom House — Sri Lanka 2024

Freire, P. (1970). Pedagogy of the oppressed. Herder and Herder.

Gramsci, A. (1971). Selections from the prison notebooks (Q. Hoare & G. N. Smith, Eds. & Trans.). International Publishers. (Original work published 1929–1935)

Hall, S., Critcher, C., Jefferson, T., Clarke, J., & Roberts, B. (1978). Policing the crisis: Mugging, the state, and law and order. Macmillan.

Rogers, E. M. (1962). Diffusion of innovations. Free Press of Glencoe.

Schiller, H. I. (1976). Communication and cultural domination. International Arts and Sciences Press.

Servaes, J. (2008). Communication for development and social change. SAGE Publications.


ඡායාරූ ; https://medium.com/@SugyanNanda/cultural-hegemony-2a286b38b1dd


මෝඩයා උඹ මෝඩයා...!!! ආදරය කරන බව ඔබට මා පුරා විසිවසක් නොදත් ඔබ, මුළු ලොවක් දන්නා  ඔබ නොදන්නා  මෙතෙක් කල් කෙලෙස මා ළඟ ගැවසී, කුමට මා ළඟ ගැවසී...