Saturday, July 25, 2026




 "ගෑණු වගේ පිරිමි"



අසල අලුතෙන් හදන ගෙදරකි. එහි ලැගුම් ගෙන සිටින බාස්ලා කිහිපදෙනෙකි.  මේ අලුතෙන් ආපු කිහිපදෙනා ඊයේ රෑත් බීගෙන එකිනෙකා කියවා ගනිති. අද තත්ත්වය හොදටම උත්සන්න ය. පාන්දර එක හමාර වෙනකල් එකිනෙකා කියවා ගන්නේ දැන් හවස අටේ සිටය. මොනවද අප්පේ මෙතරම් විසදාගත නොහැකි අර්භුද මේ අයට. උනුන්ගේ ගමේ ගෙවල් වල ගම්වැදී හෑලි ,ආඩා පාලි , ඕපා දුප ගණනාවක් රස කර කර නෙවේ මහා හයියෙන් කියවා ගනිති මෙතුමෝ.  පසුදා උදෑසනක් ම ආපසු ඇසෙන්නේ ද අර නෝක්කාඩු නොනවතින උපාදුප සංග්‍රාමයකට එන්න බැරි විවාද , ඒ මදිවට අහල පහල ඉන්න බැරිවෙන්න මහා හයියෙන් උස් හඩින් කෑ ගැසිලි.   

මෙසේ මසිතට  මේ සිද්ධිය වද දුන්නේ  - මේ මොන "ගෑණු වගේ පිරිමි ජාතියක්" යන සාරුප්යයෙනි, මගේ සිත කියන්නේ මේ මොන ඕපා දුප අහළ පහළ ඉන්න බැරිවෙන්න...

දැන් මගේ සිත කියන්නේ ඉතින් මට ඒ අනුන්ගේ කථා වදයක් දුන්නේ මගේ හිතේ අනුන්ගේ දේ හොයන ඕපා දුප ගතිය නිසා .. මාත් ගෑණියක් වගේ එහෙනම්.. 

මෙහෙම කතාකරන්නේ ගෑණු  - එහෙම  කථා කරන පිරිමි ද ගෑණු වගේ .. ඒ මගේ හිත එහෙම හිතන එකත් ගෑණු  ගතියකි .. ඔහොම අපට හිතෙන්නේ ඇයි ?

ඓතිහාසිකව ගෑණු  ගති සහ පිරිමි ගති කියල අපි බෙදාගෙන වර්ගවාදී ව මානව චරිත ගතික සංසිද්ධි නම් කරගෙන තියනවා .. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ගෙදරින් පාසලින් සමාජයෙන් අපට නැවත නැවත කාවද්දනවා ... අපි හිතන්නේ සුදු - කළු , හරි - වැරදි , සුභ - අසුභ, යහපත් - අයහපත්, ගැහැණු - පිරිමි ... ආදී  වශයෙන් ද්විපාර්ශවිය අන්තගාමි අගතියක පිහිටා ය. අප ගොඩවල් වෙන්කරගෙන ඇත්තේ අපේ - අනුන්ගේ,  වශයෙන් ආධිපත්‍යයක් ගෙන ඇත්තේ ඇයි ?

නිරීක්ෂණයෙන් අත්දැකීමෙන් මිනිසුන්ගේ චර්යා වටිනාකම් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන්නේ ද සමාජීය ආධිපත්‍යයික බලසම්පන්න ජනප්‍රිය සංස්කෘතික සහ සභ්‍යත්ව මතයේ පිහිටා ය. 

ගැහැණිය නිග්‍රහයට ලක් කිරීම නොහොත් ගැහැණිය දුස්සීල, කිල්ලට හසුවෙන, නරක, කැත ,අවනම්බු ... ආදී වශයෙන් අවප්‍රමාණ කර ඇත්තේ ද මේ උක්ත සෛද්න්තික අගය මත විය හැක. ගැහැණිය ලස්සන, ප්‍රියංකර, සුන්දර, සුලලිත අංගපුලාවක් ඇති නැති ... ආදී වශයෙන් දක්වා ඇත්තේ පිරිමියා "නියම වීර පිරිමි" චරිතයක් සහ ගැහැණිය දුර්වල බෙලහීන ඕපා දුප හොයන චරිතයක් කිරීමටද ? 

එවිට පිරිමියා නිර්භීත දක්ෂ අභීත පමණක් නොව  තවත් බොහෝ ධනාත්මක වටිනාකම් පිරිමියාට පටවා ඇත්තේ සැබවින්ම සියලු පිරිමි එහෙම වන නිසාද ? නැතිනම් ගැහැණු අවලස්සන දුස්සීල වී පිරිමි ලස්සන වන්නේ නැත්තේ සියළු ගැහැණු කැත වී සියළු  පිරිමි කෝටියක් සංවර ශිෂ්ඨ අවංක වන නිසාද ?

චක චක ගගා ඔහේ අහල පහල ඉන්න කෙනෙකුගේ කණට  කොටනවා වගේ එක දිගට  නොනවතින ඇණුම්  බැණුම් ගණනාවක් එකිනෙකා කියවා ගත් සැණින් මසිතට "ගෑණු වගේ පිරිමි" කියල එකවර කියවුනේ බොහෝ දුරට මගේ සිතේ ( මනසේ - ප්‍රජානනයේ - සිතන විදිහේ )  කාලයක් තිස්සේ රැව් දුන් සම්ප්‍රදායික පිරිමියා පිළිබද ලේබලය නිසා යයි ද බොහෝ දුරට කිව හැක. 

මගේ පර්යේෂණ ක්ෂේත්‍රයක් වන පිරිමි සමරිසි සබදතා පිළිබද මා සතු ආනුභුතික දත්ත අනුව ඇතැම් පිරිමියෙකු අතිශය කැමැත්ත දක්වන්නේ ගැණියෙක් වගේ රඟන හැසිරෙන කතා බහ කරන ඉඟ සුඟ ලෙලෙදෙන ගස්ස ගස්සා යන සුදු කෙට්ටු රූමත්  පිරිමියෙකු සමග ආලය හෝ/සහ ලිංගික හෝ එකී සබදතාවේ නිරතවීමටය. මහපාරේ රාත්‍රීයේ හෑන්ඩ් බෑගයක් කරේ දමාගෙන කවුරු හරි කාරයකින් එනකල් මග බලා ඉන්නේ එබදු පිරිමින් ඇඳ සිටින්නේ ද ඇතැම්විට එබදු ස්ත්‍රී ආශ්චර්යක් මවන තුරුණු පිරිමින් විලසය. එබදු ගැහැණු සිරිකත මවන ගැහැණු පිරිමින් සොයා ඔවුන් කියන මිලකට රැගෙන යාමට ඉහළ පන්නයේ වාහන වලින් වගේම පදික වේදිකා අස්සේ බර අදින මිනිසුන් ගේ සිට ඇති ලිංගික ශ්‍රම වෙළද පල හුදෙක් විශ්‍රාන්තිය සදහා ම කෙරෙන ලිංගික සබදතාවක් නොවන බව මගේ පර්යේෂණ දත්ත විශ්ලේෂණ වලින් පෙනී යයි. 

"ගෑණු වගේ කෙනෙක් එපා මට හොද හැන්ඩ්සම් ලස්සන කළු හෝ  සුදු හෝ නළුවෙක් වගේ ලස්සන කොල්ලෙක් විතරක් මට කතා කරන්න" --- එබදු ආකාරයෙන් කොල්ලෙක් වගේ කොල්ලෙක්, (කෙල්ලෙක් වගේ කොල්ලෙක් සොයන අයට වෙනස් ව) පිරිමි අයිය හෝ මල්ලි හෝ අංකල් ට දැන් දැන් ලංකාවේ ලොකු ඉල්ලුමක් ද පවතී. 

දැන් මේ ගෑණු වගේත් පිරිමි වගේත් දෙකම තියෙන පිරිමි සදහා ලෝකයේ එන්න එන්න වැඩි කැමැත්තක් ඇත්තේ පිරිමි අයගෙන් පමණක් නොවේ. ගෑණු අය , මට ඕනේ මගේ කොල්ලා කළු , රැවුල තියෙන හොද හයි හත්තිය තියෙන , සීනි බෝලයක් නොවෙන කොල්ලෙක් නියම පිරිමියෙක් ; "පිරිමියෙක් ගේ රැවුල නැතිනම් මොන පිරිමිද" ආදී වශයෙන් සම්ප්‍රදායික ගැහැණු ධර්මතාවේ සිට පිරිමි සොයන ගැහැණු වගේම මගේ ආනුභුතික දත්ත අනුව ගැහැණු ඇතැමෙක් කැමති වන්නේ තමන්ගේ පිරිමියා ගැහැණියක් වගේ ගේ දොර අතුගාමින් කුස්සියේ උයමින් ගැහැණියගේ යට ඇදුම පවා සැමදා සෝදා දෙන සියලු වැඩ පල කරන පිරිමියෙකි. එවිට ගැහැණිය වීර චරිතයක් වී පිරිමියා නිවට චරිතයක් වන අවස්ථා මෙන්ම ගැහැණිය නිවට වී පිරිමියා වීර වන අවස්ථා තිබේද? 

ගැහැණු සහ පිරිමි යන උභය ගති දෙකම ඇති පිරිමින් ට ද ගැහැණුන් ගෙන්  ( පිරිමින් ට වගේම ) ද සෑහෙන ඉල්ලුමක් මේ දිනවල පවතින බවයි. 

මා - ඔබ අයිති වෙන්නේ කුමන වර්ගිකරනයටද? එසේ තමන්ගේ ලිංගික හෝ සමාජීය පුද්ගල අනන්‍යතාව කුමක්ද යන්න සොයනවාට වඩා නුතනයේ ස්ත්‍රී - පුරුෂ වටිනාකම් අවශ්‍යතා ධර්මතා බොහෝ දුරට සම්ප්‍රදායික බෙදීම් වලින් බොඳ ව එකිනෙක අතිව්‍යප්තව පුළුල් අවධියකට පත්ව ඇති බව, නුතන පුරුෂ විෂයික සහ ස්ත්‍රීවාදී සංස්කෘතික සහ ජෛව විද්‍යාත්මක අධ්‍යයන මගින් පෙන්වා දෙන්නේ ය. මිනිසුන්ගේ මානසික කායික චර්යා අනුව ඔවුනොවුන් තවදුරටත් වර්ගීකරණය කට ලක් කිරීම මගින් පවා සිදුව ඇත්තේ මිනිසුන්ගේ නිසර්ග සිද්ධ සැබෑ ආශා සහ අවශ්‍යතා නුතන රාජ්‍ය විසින් පවා යටපත් කිරීමකි. 

ඇතැම්විට නුතන සමාජයේ ආර්ථික, දේශපාලන, තාක්ෂණික, සංස්කෘතික අංශ මගින් මිනිසා කෙරෙහි බලපවත්වන බලය සහ කැරකීම මත අපගේ දෛනික හෝ අනෙක් චර්යා සහ ගතිකා ක්ෂණික ව හෝ අනන්‍ය වශයෙන් වෙනස් වන්නේය. ජෛව ජාන ගත රසායන විද්‍යාත්මක චර්යා කෙරෙහි අතිමහත් බලපෑමක් නුතන තාක්ෂණික ආර්ථික සංස්කෘතික අංශ මගින් ඇති කිරීම නුතන සමාජයේ පරිවර්තනාත්මක මානව පරිණාමයක් දක්වා රැගෙන යාම අද පමණක් සිදු වුවක් නොවේ. මානව වංශ කථාවේ ආරම්භයේ සිට පරිණාමයේ නොයෙකුත් තැන මේ තත්ත්වය ජෛව ලෝකයේ සියළු සතුන් අතර සිද්ද වන්නේ ය. එය සජීව ලෝකයේ ජෛව සහ සමාජීය පැවැත්මේ නන්විධ වියමනේ මනරම් සුක්ෂ්මතාවයි. 

ඡායාරූපය  ලබාගත්තේ ; https://www.lensculture.com/projects/1133037-daily-life-of-a-feminine-gay-man

No comments:

Post a Comment

මෝඩයා උඹ මෝඩයා...!!! ආදරය කරන බව ඔබට මා පුරා විසිවසක් නොදත් ඔබ, මුළු ලොවක් දන්නා  ඔබ නොදන්නා  මෙතෙක් කල් කෙලෙස මා ළඟ ගැවසී, කුමට මා ළඟ ගැවසී...