පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමින්, ජන මාධ්‍යයේ භාවාතිශය සදාචාර සම්පන්න නොවන භාෂාව සහ සෞඛ්‍ය සන්නිවේදනය
වසංගතවේදය (Epidemiology), මහජන සෞඛ්‍ය ආචාරධර්ම (Public Health Ethics) සහ අවදානම් සන්නිවේදනය (Risk Communication) යන දෘෂ්ටිකෝණවලින් සලකා බැලූ විට, ශක්තිමත් ජාතික රෝග අන්වේෂණ/නිරීක්ෂණ (surveillance) දත්ත මගින් තහවුරු වන අවස්ථාවක, විශේෂිත ජන කණ්ඩායමක් තුළ—උදාහරණයක් ලෙස පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමින් (Men who have Sex with Men: MSM)—ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections: STIs) අසමානුපාතික ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු හෝ වෛද්‍ය විශේෂඥයෙකු විසින් මහජනතාවට ප්‍රකාශ කිරීම වෘත්තීයමය වශයෙන්ද ආචාරධාර්මික වශයෙන්ද නිවැරදි ක්‍රියාවකි. කෙසේ වෙතත්, එවැනි ප්‍රකාශයක් සෑම විටම විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ, ගර්හිතාත්මක හෝ අපකීර්තිමත් හෝ අපහාසාත්මක හෝ කලංකකරණය (සමාජය ඉදිරියේ පුද්ගලයෙකු කෙරෙහි කැළලක් මතු කිරීම) (stigmatisation) නොකරන, සහ නිවැරදි සන්දර්භය පැහැදිලි කරන ආකාරයෙන් ඉදිරිපත් කළ යුතුය.
'කැළලක්' හෝ සමාජ අපකීර්තියක් හා සම්බන්ධ කිරීම මගින් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ලේබල් කිරීම, වර්ගීකරණය කිරීම හෝ අසාධාරණ ලෙස සැලකීම 'කැළලක් ඇති කිරීම' (stigmatisation) ලෙස හැඳින්වේ. මෙහිදී දැඩි ඍණාත්මක ඒකාකෘති (stereotypes) හෝ මහජන අනුමැතිය නොලැබීම වැනි දේ අදාළ කර ගැනෙන අතර, එමගින් කලින් ඇති කරගන්නා ලද නිශ්චය කිරීමක් මත , වෙනස් කොට සැලකීම සහ සමාජ හුදකලාවීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය.
මහජන සෞඛ්‍ය සන්නිවේදනයේ මූලික ආචාරධාර්මික වගකීම වන්නේ රෝග පැතිරීමේ ප්‍රවණතා පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාවට ලබාදීම මගින් රෝග වළක්වා ගැනීම, කල්තියා හඳුනා ගැනීම සහ කඩිනම් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමයි. එහෙත්, එම වගකීම සංඛ්‍යා ලේඛන පමණක් ප්‍රකාශ කිරීමට සීමා නොවේ. ඉහළ ආසාදන අනුපාතයක් දක්නට ලැබෙන ජන කණ්ඩායමක් හඳුනා දීම සහ එම ජන කණ්ඩායම රෝග ව්‍යාප්තියට "හේතුව" ලෙස නිරූපණය කිරීම අතර මූලික වෙනසක් පවතී. එබැවින් මහජන සෞඛ්‍ය සන්නිවේදනය මෙම කරුණු /සංසිද්ධීන් දෙක පැහැදිලිව වෙන්කර දක්වමින් සිදු කළ යුතුය.
නූතන වසංගතවේදී පර්යේෂණ අනුව, බොහෝ රටවල පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමින් (MSM) කණ්ඩායම තුළ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (HIV) සහ වෙනත් හෝ ලිංගාශ්‍රිත ව ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවල ඉහළ ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ ලිංගික දිශානතිය හෝ පුද්ගල අනන්‍යතාව (LGBTIQ+ හෝ වෙනත්) හේතුවෙන් නොව, ජීව විද්‍යාත්මක සංවේදීතාව, ලිංගික සම්බන්ධතා ජාලවල ව්‍යුහය, සෞඛ්‍ය සේවාවන්ට ප්‍රවේශය, සමාජ කලංකකරණය (කැළලක් ඇති කිරීම) , වෙනස්කම් කිරීම, නීතිමය සීමා කිරීම් සහ රෝග වැළැක්වීමේ සේවාවන්ට අසමාන ප්‍රවේශය වැනි ජීව විද්‍යාත්මක, සමාජීය හා ව්‍යුහාත්මක සාධකවල සංකීර්ණ අන්තර්ක්‍රියාවක් හේතුවෙනි (World Health Organization [WHO], 2022). එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමින් (MSM) ඇතුළු ප්‍රධාන අවදානම් ජන කණ්ඩායම් සඳහා ඉලක්කගත වැළැක්වීමේ වැඩසටහන්, පරීක්ෂණ, ප්‍රතිකාර, සහ ලිංගික සහකරුවන් දැනුවත් කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය බවයි. එයට හේතුව රෝග සම්ප්‍රේෂණය සහ සෞඛ්‍ය සේවාවන් භාවිත කිරීම සම්බන්ධයෙන් ව්‍යුහාත්මක හා සමාජීය සාධක ප්‍රබල ලෙස බලපාන බැවිනි (WHO, 2022; WHO, 2024).
තවද, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (HIV) ආශ්‍රිත කලංකකරණය (කැළලක් ඇති කිරීම) සහ වෙනස්කම් කිරීම අවම කිරීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම මාර්ගෝපදේශ පෙන්වා දෙන්නේ නිසි සන්දර්භයකින් තොරව හෝ නොසැලකිලිමත් ලෙස සිදු කරන මහජන ප්‍රකාශ අවිඥානිකව සමාජයේ පවතින පූර්ව විනිශ්චයන් ශක්තිමත් කිරීමට, සෞඛ්‍ය සේවා ලබා ගැනීම අධෛර්යමත් කිරීමට, ස්වේච්ඡා පරීක්ෂණ සඳහා ජනතාවගේ සහභාගිත්වය අඩු කිරීමට, ප්‍රතිකාර ප්‍රමාද කිරීමට සහ අවසානයේ ජාතික රෝග පාලන උත්සාහයන් දුර්වල කිරීමට හේතු විය හැකි බවයි (WHO, 2024). එමෙන්ම, UNAIDS ආයතනයේ 2024 පාරිභාෂික මාර්ගෝපදේශ නිර්දේශ කරන්නේ රාජ්‍ය ආයතන සහ සෞඛ්‍ය වෘත්තිකයන් නිවැරදි, පුද්ගල ගෞරවය රැකෙන සහ කලංකකරණයෙන් තොර භාෂාවක් භාවිත කළ යුතු බවයි. එයට හේතුව සන්නිවේදනයේ භාෂාවම ජනතාවගේ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ හැසිරීම්, රාජ්‍ය ආයතන කෙරෙහි ඇති විශ්වාසය සහ HIV/STI පාලන වැඩසටහන්වල සාර්ථකත්වයට සෘජුවම බලපාන බැවිනි (UNAIDS, 2024).
එබැවින්, විශේෂිත නාගරික ප්‍රදේශවල පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමි (MSM) කණ්ඩායම තුළ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැඩිවෙමින් පවතින බව ජාතික වසංගතවේදී දත්ත මගින් තහවුරු වන්නේ නම්, එම තොරතුරු මහජනතාවට විනිවිදභාවයෙන් ප්‍රකාශ කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ විද්‍යාත්මක හා ආචාරධාර්මික වගකීමකි. එහෙත්, ඒ සමඟම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන යනු ඕනෑම ලිංගිකව සක්‍රීය පුද්ගලයෙකුට, ඔහුගේ හෝ ඇයගේ ලිංගික දිශානතිය කුමක් වුවද, ආසාදනය විය හැකි බෝවන රෝග බවද පැහැදිලිව අවධාරණය කළ යුතුය. එමෙන්ම, විශේෂිත සමාජ කණ්ඩායම්වලට වගකීම පැවරීම වෙනුවට ආරක්ෂිත ලිංගික හැසිරීම්, නිතිපතා පරීක්ෂණ, ලිංගික සහකරුවන් දැනුවත් කිරීම, අවශ්‍ය අවස්ථාවල එන්නත්කරණය සහ සැමට සමාන සෞඛ්‍ය සේවා ප්‍රවේශය වැනි සාක්ෂි මත පදනම් වූ වැළැක්වීමේ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙවැනි සමතුලිත, සාක්ෂි මත පදනම් වූ සන්නිවේදනය මගින් යහපත සිදු කිරීම (beneficence), හානිය වළක්වා ගැනීම (non-maleficence), යුක්තිය (justice), විනිවිදභාවය (transparency) සහ පුද්ගල ගෞරවයට ගරු කිරීම (respect for persons) යන මහජන සෞඛ්‍ය ආචාරධර්මීය මූලධර්ම ආරක්ෂා කරන අතරම, මහජන සෞඛ්‍ය සන්නිවේදනයේ කාර්යක්ෂමතාවද උපරිම කරයි.
ශ්‍රී ලංකාවේ ඉතාමත් මෑතක මෙන්ම, පසුගිය වසරේදී ත් ඇතැම් රූපවාහිනී සහ අනෙකුත් ජන මාධ්‍යයන් විසින් මේ ප්‍රස්තුතය අරභයා භාවිත කර ඇත්තේ ඉතාමත් සදාචාර සම්පන්න භාවයක් නැති වෘත්තීය ශික්ෂණයක් නැති භාෂා සහ මාධ්‍ය හසුකර ගැනීමකි. උදාහරණයක් ලෙස සිය මාධ්‍යයේ ඔවුනොවුන්ගේ ආර්ථිකය තර කරගැනීමේ අරමුණ ඇතිව, පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමි (MSM) ඇසුරෙන් ඔවුන්ගේ හෝ අන් අයගේ ලිංගාශ්‍රිත සම්ප්‍රේණ රෝග පදනම් කරගනිමින්, LGBTIQ+ සහ පිරිමින් පිරිමින් අතර ඇති රෝමාන්තික ලිංගික සබදතා පිළිබද දක්වා ඇත්තේ ඉතාමත් අවිද්‍යාත්මක වාර්තාකරණයකි. මේ ඔස්සේ, යම් ජන කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු පිළිබද, කලින් ඇති කරගන්නා ලද පුර්ව විනිශ්චයන් අනුව සමාජය පෙළන, සමාජය ඉදිරියේ ඔවුනට කැළලක් ඇති කරන ආකාරයේ, ගර්හිතත්මක, අපකීර්තිමත්, නිග්‍රහාත්මක මාධ්‍ය වාර්තාකරණයකි මෙහි දිස්වන්නේ. සෞඛ්‍ය සන්නිවේදනය පැත්තෙන් ගත්තත්, නුතන ජන මාධ්‍යයේ සදාචාරාත්මක වෘත්තීය වාර්තාකරණ අංශය පැත්තෙන් ගත්තත්, එකී ආකාරයෙන් අදාළ ජන කණ්ඩායමකට අපහසු වන අන්දමට කටයුතු කිරීම, නුතන ලිබරල් ආණ්ඩුක්‍රම සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතියෙන් දඩුවම් ලැබිය හැකි මෙන්ම ඉතාමත් පිළිකුල් කරන අමානුෂික මාධ්‍ය භාවිතයකි. කොළඹ කුණු කන්ද පෙන්වා ජන්දය ගැනීමේ දේශපාලනය මෙන් ලංකාවේ ඇතැම් ජන මාධ්‍ය සහ වත්මන් සමාජීය ජාල මාධ්‍ය තුළ උක්ත ලිංගික රෝග පදනම් කරගනිමින්, LGBTIQ+ සහ පිරිමින් පිරිමින් අතර ඇති රෝමාන්තික ලිංගික සබදතා භාවිත කරන්නේ මිනිසුන්ගේ පුහු හැගුම් සංවේදනා භාවයන් ප්‍රකෝප කරගෙන තුච්ඡ පහත් අන්දමින් ධනය ලාභය ප්‍රසිද්ධිය කිර්තිය ආදී ආත්ම ලාභ සාධනයකි මෙහි උදක්ම දක්නට ඇත්තේ. ඒ ඇර අප රටේ විද්‍යාත්මක, විෂය බද්ධ ආකාරයෙන් අවබෝධය, දැනුම මත සමාජය මෙහෙයවීම උක්ත රෝග පමණක් නොව බොහෝ ව්‍යාධි සමනය කර ගත හැක.
"වත්මන් විද්‍යාත්මක සාක්ෂි අනුව, ගෞරවය, විවිධත්වය සහ LGBTIQ+ සම්බන්ධ කරුණු පිළිබඳ ඒ අදාළ වයසට හා ළමුන්ගේ සංවර්ධන පරිණතභාවයට ගැළපෙන අධ්‍යාපනය ප්‍රාථමික පාසල් වියේදී (ආසන්න වශයෙන් වයස අවුරුදු 5–8) ආරම්භ කළ යුතු අතර, නව යොවුන් වියේදී (වයස අවුරුදු 12–18) එය ක්‍රමයෙන් වඩාත් පුළුල් හා ගැඹුරු අන්තර්ගතයකින් යුක්ත විය යුතුය."(Ketting et la., 2016; Women and UNICEF, 2018;UNESCO, 2018; WHO Regional Office for Europe & BZgA, 2010; American Academy of Pediatrics, 2023). එවිට මිනිසුන් අනෙක් මිනිසුන් අතින් හෝ තමන් අතින් ම රෝග වලට පමණක් නොව බොහෝ අයතා ව්‍යධින්ට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැලැක්විය හැක. එමෙන්ම, ජන මාධ්‍ය ඇතුළු අනෙකුත් ආයතන අනෙකුත් මිනිසුන් හෝ ඔවුනොවුන්ගේ චර්යා දෙස බලන ආකාරය පිළිබද උතුම් ශිෂ්ඨ මානුෂ සමාජීය සන්නිවේදනයක් ඇති කිරීමට හේතු විය හැක.
මිනිසුන්ට තමන්ගේ ඇස, මනස ඉදිරියේ සක්සුදක් සේ නුතන විද්‍යාව, දැනුම සහ දත්ත තිබියදී තවදුරටත් හුදු ආටෝප සාටෝප හාව භාව සංවේදන මත අප සමාජ මෙහෙයවීම ම නුතන තාක්ෂණික චින්තනයේ වහල්භාවයේ සලකුණයි.
ආශ්‍රේය විමර්ශන කෘති පෙළ
American Academy of Pediatrics. (2023). Policy statement: LGBTQ+ youth. Pediatrics, 152(2), e2023063774.
Ketting, E., Friele, M., Michielsen, K., & European Expert Group on Sexuality Education. (2016). Evaluation of holistic sexuality education: A European expert group consensus agreement. The European Journal of Contraception & Reproductive Health Care, 21(1), 68–80.
UNAIDS. (2024). UNAIDS terminology guidelines. https://www.unaids.org/en/resources/documents/2024/terminology_guidelines
UNESCO. (2018). International technical guidance on sexuality education: An evidence-informed approach. UNESCO.
UN Women, & UNICEF. (2018). International technical guidance on sexuality education: An evidence-informed approach. UNESCO Publishing.
World Health Organization. (2022). Consolidated guidelines on HIV, viral hepatitis and STI prevention, diagnosis, treatment and care for key populations. https://www.who.int/publications/i/item/9789240052390
World Health Organization. (2024). Ensuring quality health care by reducing HIV-related stigma and discrimination. https://www.who.int/publications/i/item/9789240097414
World Health Organization. (2024). Updated recommendations for the treatment of Neisseria gonorrhoeae, Chlamydia trachomatis, and Treponema pallidum (syphilis) and new recommendations on syphilis testing and partner services. https://www.who.int/publications/i/item/9789240090767
World Health Organization Regional Office for Europe, & Federal Centre for Health Education (BZgA). (2010). Standards for sexuality education in Europe: A framework for policy makers, educational and health authorities and specialists. WHO Regional Office for Europe.

LGBTIQ+ මේ අකුරු ටිකට මං නම් කැමති නැහැ සර්😆මේ ලිපි දාන්න එපා ආයෙ😂🫣
ReplyDelete