ඔබ හඬ ඇතුලේ තිබෙන නිහඬ බව අත්දැක තිබේද ?
බොහෝ මිනිසුන්ගේ ජිවිත ඇතුලේ වරෙක එළියෙන් බාහිරෙන් ඇසෙන මහා ශබ්දයකට මොකුත් නොඇසුනා සේ ප්‍රතිචාර නොදැක්වීමත්, තවෙකෙකු, ඒ සදහා ඉතාමත් හඬින් තදින් දොස්පරෝස් නගමින් පෙරලා ප්‍රතිචාර දැක්වීමත් පදනම් වන්නේ, ඒ ඒ කෙනාගේ මානසික ප්‍රත්‍යස්ථතාව (දරාගැනීම) සේ සැලකිය හැක. නමුත් මෙහි පුදුම හිතෙන සුතුරක් (formula) තිබේ. එනම්, ලොකු හඬක ඇති නිහඬ බවත්, නිහඬ බවෙක ඇති ලොකු, බරපතල, මුවහත් හඬත් අප නොදැක මියගියහොත් එය අපගේ ජිවිතයේ සාමුල අපරාධයකි. හඬ ඇතුලේ ඇති නිහඬ කම අප දකින්නේ කෙසේද ?
මේ අපගේ ඉන්ද්‍රිය ආනුභුතික සංජානනයට, පෙනෙන ඇසෙන දකින සිතෙන දේ ඔබ සිතන්නේ නිවැරදි කියාද ? ඔබ ඔය දකින පෙනෙන ඇසෙන සිතෙන පසිදුරන්ට ගෝචර සංජානන මට්ටම සත්‍යයක් හෝ සාපේක්ෂ සත්‍යයක් හෝ වන්නේ නම්, ලෝකය ඔබට මට පෙනෙන දැනෙන සිතෙන මේ විදිහෙන්ම පවතින්නේ නැත්තේ ඇයි ? එහෙත් සත්‍යය නම්, එය මේ දකින ඇසෙන සිතෙන පෙනෙන ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දැනුම අනුවම, එය එසේ නොපවතින බව මේ මිනිස් සත්ත්ව ජෛව කායික ඉන්ද්‍රිය විසින්ම ගෝචර දැනුමකින් සංජානනය කරගන්නේද අද දෙයක් ( ද්‍රව්‍යය, ධම්ම ) තිබෙනවා යයි කියා දකින සිතෙන පෙනෙන ඇසෙන ඉන්ද්‍රියටමය. ඒ කෙසේද? . එනම් හඬ සේ නිහඬ බවත් හඬවන දෙයක් බවත් අප ඓන්ද්‍රීය ( ඉන්ද්‍රිය සංජානනය ඉක්ම වූ ) දැනුමකින් ඥානයකින් දතොත් ඒ වැදගත්ය. ඒ මන්ද, ලෝකයේ ඉන්ද්‍රිය ගෝචර දැනුමකට, ඥානයකට හසුවන කිසිවක් ම එසේ නැති වශයෙන් දැකීමට නොහැක්කේ මානව භාෂයික දැනුමකින් සංකල්පයකින් මේ දේ දැක්වීමට පොහොසත් නොවන හෙයිනි.
නමුත් මේ උඩ ම විසින් දක්වන සැබෑව එක්මොහොතක ඔබගේ මගේ අවබෝධයට ක්ෂණිකව පැමිණ ක්ෂණිකව නික්මෙන ක්ෂණභංගුර ඥාන මිමංසාවකට පමණක් හසුවෙනු ඇත. එනම් මේ කියන දේ ලොව සෑම සත්ත්වයෙකුටම පෙනී නොපෙනී යයි. එය සෑම නිමේෂයකම, නිබද පෙනී නොපෙනී යන නිසා අපට මේ දකින ඇසෙන පෙනෙන සිතෙන දේ පිළිබද වන ක්‍ෂුද්‍ර සංවේදී ක්ෂණ භංගුර සැබෑව ඉන්ද්‍රිය දැනුමකින් හසුකරගත නොහැකි ව තිබේ.
එනම් ඉහත වැටහීම සාමන්‍යය ගණිතමය තර්ක දැනුමකට ප්‍රකාශ කල නොහැක්කේය. එනම් මෙතෙක් අප උගන්වන, ඉගෙනගන්නා දැනුම යනු රේඛිය ව්‍යුහගත ගණිතමය එකාකෘතික පටිතයකි. ඒ අවබෝධය යනු භාෂා විෂය අතික්‍රන්ත මොළයේ අශ්පර්ෂිය දැනුමක එසැන ක්ෂණභංගුර සංස්පර්ශ්යක් පමණකි. එනම් බල්බයක් දැල්වී නිවෙන තැන ඇති ඉතාමත් සියුම් අවකාශීය නොවන අකාල අද්වයිතය ඔබ දැක තිබේද? මේ දේ දැකගන්න පිළිවන් හොදම දේ ඔබගේ හුස්ම උඩට හෝ යටට වැදී අනෙක් පසට ( උඩට හෝ යටට ) වැදීම අතර ගැටුමේ සියුම් විභේදන පරතරය ඔබ විසින් හසුකරගැනීමයි. එය ඔබට හසු වී තිබේද? හුස්ම උඩට හා පහතට වැදෙන තැන හුස්ම දෙකක් අතර ඇති සියුම් පරතරය ඔබ දැක්කේ වී නම්, එතැන කිසිවක් ම නැති අන්තරයක් ද නැති තැනක් බව දකිනු ඇත.
එනම් ඔබ නිහඬ කළුවර රැයක පත්තුවෙවී, නිවි නිවී නික්මෙන, එක තැන නොවසන කනාමදිරියෙකු ඔබ දැක තිබේද ? ආන්න ඒ මෙන් වන නික්ලේශී ගතිකයකි අප ඉන්ද්‍රිය අත්දකින ලෝකය. නමුත් අප සියළු ද්‍රව්‍යමය දෑ සරණ යන්නේ ද්‍රව්‍යමය සංරචකයක් මත කය පවත්වන නිසයි. නමුත් ලෝකයේ ඇතිතාක් සමාජීය ( සංස්කෘතික ) හෝ වෙනත් ( ආර්ථික -දේශපාලන, තාක්ෂණික හෝ මොනයම්) ගැටළුවක් හටගෙන තිබෙන්නේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යයත් අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයත් හටගන්නා නිසා නොවේ. ඇතිතාක් ලෝකයේ ද්‍රව්‍යය (භෞතිකය ) මත අර්භුද නිර්මාණය වෙන්නේ ( මිල මුදල්, තෙල් සහල්, ....ආදී ) ලෝකයේ දුක සැප හෝ උපේක්ෂා වශයෙන් වන ලෝකයේ "ඇත" කියා කයට ( ඉන්ද්‍රියයට ) හසුවෙන දේහි ඇති "නැති" ( නොමැති) දේ නොදකින නිසා ය. ද්‍රව්‍යය දෙයක් වෙන තැනක "ධම්ම" හට ගන්නා බව බෞද්ධ "ධම්ම" යන්නට උසස් නිබන්ධනයක් සපයන ඔක්ස්ෆර්ඩ් සරසවියේ පෙරදිග භාෂා සංස්කෘත දර්ශන මහාචාර්‍ය ජෝන් රෝස් කාටර් දක්වයි. එනම්, වැරදියට වටහා ගත් මානසික විපල්ලාසයේ හෙවත් නොමැති දෙයකට ඇති ලෙසත් ඇති දෙයකට නැති ලෙසත් වශයෙන් ගන්නා අපගේ මානසික ආරම්මණයේ නිතැනින්ම ඇති නිසඟ ද්විමය ප්‍රතිවිරුද්ධාභාසය නිසාය අපට මේ ඇති යන්නෙහි නැති බවත් නැති යන්නෙහි ඇති බවත් නොපෙනෙන්නේ.
එනම් කෝකින් කෝකද පවතින්නේ හෝ නොපවතින්නේ හෝ වශයෙන් අප දැනට ලෝකයේ ජෛව ලෝකයේ දැනුම වශයෙන් ඇති ගණිතමය එළඹුම අමුලික බොරුවක් වන නිසාය අපට මේ කියන නැතිබවෙහි ඇතිබවත්, ඇතිබවෙහි නැතිබවත් මේ මිත්‍යා ඉන්ද්‍රියට, සාමන්‍යය ලෝක සමාජීය මනෝ භෞතික සංජානන ව්‍යවහාරය තුල හසු නොවන්නේ. ඇත කියා අප අදහන විශ්වාස දැක්ම හැගීම් ආදී දැනුම් නිර්මාණය මනසින් ම අභිජනනය කරගන්නා අකාරය යමෙක් දුටත්, හෙතෙම ලෝකය තමන්ගේ සිතේ ම හුදෙක් නිර්මාණයක් වශයෙන් දකී. එසේ දැකීමෙන් මේ පිළිබද ප්‍රත්‍යක්ෂ දැනුමක් අවබෝධයක් ලබන පරිජානන මට්ටමකින් මනස ඉක්ම වූ අතින්ද්‍රීය දැනුමකින් නොව ගැඹුරු නුවණකින් ( ) භාෂාව ඉක්මවූ අන්තර් ඥානයකින්ම මේ දේ දැකිය යුතුය. මේ දේ තේරුම් ගත හැකි වන්නේ ඉර්වින් ශ්රෝදින්ගර් විසින් ජර්මනියේ සිය රසායනාගාරයේ අංශුවක ඇති කුඩාම ඒකකය ක්වොන්ටම් භෞතික දැනුමකින් සොයන අතර තුර දිනක් සිය නෙත තබා කුඩා ක්ෂුද්‍ර අන්වීක්ෂයකින් ඒ අංශුව දකිනවත් සමග ඔහුට ප්‍රත්‍යක්ෂ වුනේ " මේ කුඩා දේ දකින්නෙත් මගේ මේ ඉන්ද්‍රිය සංජානන ලෝකයකින් හෙවත් මේ මගේ ඉන්ද්‍රිය මගේ මොළය දකින රේඛිය දැනුමකින්, ඉතින් එය කෙසේද විද්‍යාත්මක වන්නේ හෙවත් විශ්වාස කරන්නේ , මොකද මම කොතරම් කුඩා යාන්ත්‍රික ලෝකයේ උසස්ම තාක්ෂණික දැනුමකින් ලෝකය උරගා බලන්නෙත් මේ පවතින සරල රේඛිය ආලම්බන උපාදාන ආශා දැහැනෙන්, ඉතින් කොහොමද මේ දේ නිවැරදි කියා කියන්නේ ... වශයෙනි.
එනම් එකයි එකයි දෙක වශයෙන් දක්වන සාධනය මත අප ලෝකයේ සියලු මේ තාක් ප්‍රක්ෂේපණ ( නිර්මාණ ) ඉදිකර ඇත. එය මහා මිත්‍යාවකි. ඒ මන්ද එක මගින් පෙන්වන්නේ තිබෙන "ඇති" පවතිනවා යයි දක්වන ධන සාධනයකි. නැති බව හෙවත් නිෂේධනය දක්වන්නේ එය එක සෘණ වශයෙනි. එක ධන වශයෙන් දක්වන්නේ එක ටම ය. එක ධන එකතු කිරීම එක සෘණ සමානයි බිංදුව. බිංදුව මගින් පෙන්වන්නේ නැති බව දක්වන නිෂේධනය නම් නොවේ. බිංදුව අයත් වන්නේ "වට්ටන් වට්ටති" නමැති පාලි භාෂාවේ දැනුම් කේතනයේ දක්වන සාර්වත්‍රික අඛණ්ඩ චක්‍රීය ස්වභාවයකටය. එය පැවැත්ම හෝ නැවැත්ම හෝ ඒ දෙකම නැති හෝ ඒ දෙකම නැති හෝ මේ කියන සුත්‍රය මගින් දැක්විය හැකි හෝ නොහැකි හෝ දෙයක් වන නොදෙයක් වන හෝ මේ අප ඉන්ද්‍රිය මගින් භාෂාව මගින් සන්නිවේදනය කරන දෙයක් නොවේ. එසේ නම් බිංදුව භාවිත කරන්නේ සංජානන ලෝකයෙන් දැක්විය නොහැකි දෙයක් සාපේක්ෂ වශයෙන් දැක්වීමට දෝ යන්න බොහෝදුරට තර්ක කල හැක. එනම් මෙය මුලාකරගත් අන්තයකි. නැති දෙයකට ඇති බව දක්වන "එක" ( 1) ත් ඇතිදෙයකට නැති බව දක්වන එක සෘණ සංකේතයෙන් දක්වන්න පොහොනා නැති තැන ශුන්‍ය දැක්වීමට දෝ භාවිත කරන "බිංදුව" ( 0) ත් නිසා ලෝකය වඩාත් මානසික මායාත්මක ප්‍රබන්ධයක් බවට අප විසින් ම පත්කරගෙන ඇති බව වත් ඉතින් අප කෙසේ මේ මිත්‍යාමය ප්‍රබන්ධයෙන් වශීකෘතව ඇති මොළයෙන් හෙවත් ජංජාලමය මිනිස් බුද්ධිමය චින්තනයෙන් (ප්‍රජානනයෙන් ) හෙළිකරගම්ද ?
එය කවදාවත් කරගත නොහැකි ප්‍රමේය සාධනයකි. ඒ මේ භාෂාව සහ ඒ භාෂාව අනුගත සංකල්පීය චින්තනය විසින් අනුදක්නා තර්කන ක්‍රමය මිත්‍යාව මත හෙවත් අතින්ද්‍රීය දැනුමකින් දැක්විය නොහැකි අවිද්‍යාවකින්ම අපගේ උගත්කම් වැසි ඇති නිසාය.
සිදුකරගත හැක්කේ දකින තැන හෙවත් මිනිස් චින්තනයම අමුලික ප්‍රෝඩාවක් මත දිවෙන එකක් බව සිතීමෙන් තේරුම් ගැනීම ද නොවේ. එසේ සිතීමද අයත් වන්නේ යට කී මිත්‍යා අපෝහන ගණිතමය සාධනයටයි. මෙතෙක් මේ සියල්ල දකින ලදුව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දැනුමකින් ම දැකීමෙන් මිත්‍යා දැකීම ප්‍රහීන කරගැනීමය අවශ්‍ය වන්නේ. එනම්, සියලු ගණිත මිණිත සංඛ්‍යාන සහ සංඛ්‍යාවට ගණන් ගන්නා සියල්ල ප්‍රපංච ( මනෝ වෘත්තීය/ මනෝ අභිරමණිය/ ආරම්මණ/ උපාදාන ) සංඥා වශයෙන් සංඛ්‍යාවට ( ගණන් ගැනීමට ) බැදී අප මුලාවට වැටි සියලු ඉදිකිරීම් නිර්මාණ පවත්වාගෙන යන බවයි මින් කියවෙන්නේ. ඒ කිසිත් නැති දෙයක් "සමුදා" වශයෙන් සමුහ වශයෙන් " ඇතිබවට" සත්කාය දෘෂ්ටියකින් ( වැරදියට වටහා ගත් මිත්‍යා අවිදු අදුරු දැක්මකින් ) අප ලෝකය අත්දකින නිසා අපට මේ කියන දේ මේ මිත්‍යා ප්‍රබන්ධිත ප්‍රජානනයට ( මිනිස් බුද්ධි චින්තනයට) හසුවෙන්නේ නැත.
අප තිබහට වතුර බී තිබහ නිවා ගත් පසුත් නැවත තිබහ එන්නේ මනස ඉල්ලන නිසාද කය ඉල්ලන නිසාද වශයෙන් වෙන් කල නොහැක්කේ අප මනස යන්න සංකල්පීය ප්‍රපංචයක් ලෙස නිර්මාණය කරගෙන ඇත්තේ ම කය සහ කයෙහි ආවතේව කම් කිරීමට උපයුක්ත මිනිස් මිත්‍යාව මත සම්මුතික භාෂාව සහ ඒ අනුව සිතන සහ සංකල්ප ගත තර්ක සහ සංජානන සන්නිවේදනයක් මත අප පිහිටා සිටින මිනිස් චින්තනයේ සරල රේඛිය එකාකෘතික ගමන් මග නිසාය. එනම් අප පුරුදුව සිටින්නේ මනසේ ආවතේවාවක් කිරීමට මානව සන්නිවේදනය මෙහෙයවීමට මිස සැබෑව දැකීමට නම් නොවේ.
ඒ මන්ද යත්? කෙටියෙන් කිවහොත් මනස ගෙත්තම් ව ඇත්තේ මිත්‍යාමය ප්‍රබන්ධ සාගරයක් මත විනා සැබෑ යථාවාදී ද්‍රව්‍යමය සංරචකයක් මත නොවේ. එනම් ද්‍රව්‍යය පවතින්නේ මනෝ සංඥාව මතය, සංඥාව පවතින්නේ රූපකය මතය, රූපකය පවතින්නේ නැති දෙයක් ඇති බවට පත්කරගෙන තිබෙන කැඩිය නොහැකි සාමුච්චිත මනෝ මුලික ඉන්ද්‍රිය සළායතන සම්මුතික සංජානන අවිද්‍යාවක් මතය. සංජානන සම්මුතික චින්තනය සහ භාෂාව මිනිස් සංස්කරණයක් සහ ප්‍රබන්ධයක් විනා අන් කවරක්ද? ප්‍රබන්ධයකින් දැකිය හැක්කේ ප්‍රබන්ධයක් විනා අන් කවරක්ද? අප භාෂාව මගින් ඉදිරියට ගෙනෙන සංකල්ප බහුල සංකීර්ණ අසම්පුර්ණ දැනුම සහ අවබෝධය ප්‍රබන්ධ නිර්මාණාත්මක චින්තනයකි - එය හුදෙක් විශ්වාසයක් පමණකි.
එනම් මිනිසා අතර ඇතිකරගත් සම්මුතික භාෂා ප්‍රයෝග අනුව මනසින් ගොඩනගන සංකල්ප රූපකය පවතින්නේ මානසික උපාදානයක් ආරම්මණයක් හෙවත් සංකල්ප රාගයක් මතය. එය රාගයක් හෙවත් ආශාව සහ ලබ්ධිය සහ ප්‍රණිධිය මත ආලෝලනය වූ, තනිකර සිතින් ආලම්බනය වූ ආකර්ෂණයක් නිසා ප්‍රබන්ධ කරන ලද ගෙත්තමකි. එය පිටස්තර යෙදවීමක් හෙවත් දෝෂ සහිත මුලාවට ලක් වූ මනසෙන් හදා ගත් සංකල්පයකින් මිනිසුන්ගේ කාම දාහය නිවාලන ( කයේ පැවැත්ම මුල් කර ගත්) සමස්ථ වශයෙන් පවත්වාගෙන යන දැනුම් ප්‍රබන්ධයක් විනා අන් කවරක්ද?
මනසක් නැති
තැන මනසේ මායාවකින් ලෝකයේ ද්‍රව්‍යය හසුකරගන්නා ආකාරය යමෙක් දුටුවෝතින් ද්‍රව්‍යය
අද්‍රව්‍යයෙනුත් අද්‍රව්‍යයය ද්‍රව්‍යයෙනුත් සුණුවිසුණු වන්නේ කර්මකාරකයෙනි. එනම් ලෝකයේ කරන්නෙක් හෝ දකින්නෙක් හෝ කතෘකාරක
කෙරුවාවක් මගින් ලෝකය පිළිබද පිළිසිද ප්‍රත්‍යක්ෂ
දැනුමක් ලැබිය හැකි නොවේ. එතැන කරන්නෙක්
නැත. කරන දෙයක් නැත. කතෘකාරකයෙන් කිරීමට පුද්ගලයෙක් එතැන හෝ මෙතැන හෝ කොතැනවත් නැත. එම නිසා කතෘකාරකයෙන් " මම " මුල් වෙලා කරන කිසිම දෙයකින්
මිනිසාට කිසිදු ප්‍රගතියක් ඇත නොවේ. දැනුම අවබෝධය ලබන්නේ පොතින් පතින් භාෂාවෙන්
චින්තනයෙන් ඇතුළු රූපක කේත සංඥා අඩයට තබාගෙන කරන, මානසික අල්ලස් විසිනි. එකක් අනෙකෙහි
ගැටුමෙන් හෝ ඇලුමෙන් හෝ ද නොවේ. එක එනකොටම එනෙක මතුවෙයි. ලෝකය පවතින්නේ ස්වයං සංසිද්ධ කර්මකාරක
රටාවකින්. ද්‍රව්‍යය මගින් මනස
හැඩගැසන්නේ නැත. මනස විසින් ද්‍රව්‍යය
හැඩගැසනු ඇත. ඒ සිදුවෙන්නේ
කතෘකාරකයෙන් නොවේ - ඒ සිදුවෙන්නේ කර්ම
කාරකයෙන් හෙවත් අපුද්ගල අනිබද්ධ අනිදස්සන අතම්‍යයතාවකිනි. ලෝකයේ මිනිසුන් බොහෝ
දේවල් කරත් ඒ සියල්ල නැවත ද්‍රව්‍යමය ලෝකයේ අලුත් දුලිත් නැතිව විසිර යන්නේය. එය
නොදකින මනසකින් මිත්‍යාව හැර විද්‍යාව කියා වැළද ගන්න තියෙන්නේ වෙන කුමක්ද?



