ඔබ මේ කුඩා ලිපිය කියවන්නේ කොහොමද ? ඔබ මේ ලිපිය තේරුම් ගන්න යන්නේ භාෂාවේ රංගනයෙනි. ඒ ඔස්සේ මැවෙන සිතුවිලි මාලාවේ අන්සංධානයෙනි ඔබ මේ මොහොතේ,දැන් පසුවෙන්නේ. මේ මා ලියන කියන දෙය ඔබට වැටහෙන්නේ එසේය. ඒ ඔබ සිංහල භාෂාව දැන තිබෙන නිසයි. සිංහල නොදන්නා අයෙකු මේ මා ලියන දෙය තේරුම් ගන්නේ නැත. ඒ ඔවුන් තමන්ගේ භාෂාවේ මුලාවේ මිත්‍යාවේ මායාවේ නොතිත් ලෙස වෙසෙන නිසයි.
ඇයි මම භාෂාව භාවිත කිරීම මුලාවක් ලෙස හදුන්වන්නේ? භාෂාව ඒ ඒ මිනිස් ප්‍රජාවන් සකසාගෙන භාවිත කරන්නේ සම්මුතික ප්‍රඥාප්තියේ අනුහසයෙනි.; එය මායාත්මක මානසික මෙහෙයුමකි. භාෂාවේ ඉන්ගිති, සංකේත, සංඥා, ඇඟවුම් කාරක සහ එමගින් ගෙනදෙන අරුත් අතර ඇත්තේ අත්තනෝමතික සම්බන්ධතාවකි.එනම් භාෂාවේ රූප, වහරන ශබ්ද සහ එමගින් ජනිත කරන අරුත් අතර කිසිදු රේඛිය හෝ චක්‍රීය හෝ වන සෘජු විද්‍යාත්මක පදනමක් නැත; ඇත්තේ භාෂාව භාවිත කරන ඒ ඒ ප්‍රජාව විසින් කාලාන්තරයක් තිස්සේ සම්මුතියෙන් ඇතිකරගෙන තිබෙන, පවරාගෙන තිබෙන අවබෝධාත්මක ගිවිසුමක් පමණි. ඒ මත ඔවුහු සිය අදහස් එකිනෙකා අතර පල කරති. ඒ ඔවුන් විසින් ඇතිකරගන්නා සම්මුතියේ ඇණවුම් ප්‍රකාරවය.
ඒ ඒ භාෂාව උපයෝගී කරගෙන මිනිසා පමණක් නොව සියලු ප්‍රාණීන් අත්විදින්නේ ම තම තමන්ට දැනෙන හැඟෙන සිතෙන මනෝ ලෝකය පමණි. ඒ අනුව, ජෛව ප්‍රාණීහු තම තමන්ගේ ලෝකය සිතින් ම මවා ගනිති; සිතින්ම සකස් කරගෙන විදති. ඒ භාෂා සංෂ්පර්ෂය වනාහි, තමන්ගේ උත්පත්තික ප්‍රජානාත්මක ස්නායු සහ එකී රසායනික ක්‍රියාකාරිත්වයෙහි ප්‍රතිපලයකි; එනම් භාහිර ඇණවුම් ලැබෙන පරිදි මොළයේ ස්නායු සහ එකී රසායන ප්‍රතික්‍රියා අනුව ජෛව සන්නිවේදනය සිදු වේ. එයට අනුබලය සපයන්නේ පොදුවේ ඒ ඒ සත්ත්ව විශේෂ අතර අභ්‍යන්තරයේ පණවා ගෙන තිබෙන සම්මුති, ප්‍රඥාප්ති, ගිවිසුම්, සම්මත ප්‍රමිති, වටිනාකම් ,ඇගයුම් ආදී බාහිර කෘතීම පබැදුම් අනුව පමණි. උපන් කුඩා දරුවෙකු තමන්ගේ මවගෙන් පැහැරගෙන වෙනත් ලෝකයකට රටකට භාෂාවකට අයත් සමාජයක මුල් අවුරුදු පහ ජිවත් වුවහොත්, ඒ දරුවා කතාකරන මව් භාෂාව වන්නේ ඒ කුඩා දරුවා හැදුණු වැඩුණු පළමු වසර පහ ජිවත් වූ සමාජයේ අවට ළගින් සිටි මිනිසුන් කථාකරන,වහරන භාෂාවයි; දරුවා පළමු වසර පහ හදාවඩාගත් දෙමාපියන් සහ අවට පරිසරය වහරන බසයි කුඩා දරුවා උසුරුවන්නේ.
ඉන් අනතුරුව, ලෝකයේ අප කවුරුත් ලෝකය දකින්නේ, අපට ලෝකය දැනෙන්නේ තමන් සතු මේ සම්මුතික රංගන ඇණවුම් සංදේශ මාලාව අනුවය. ඒ අනුව තමන් ලෝකය උපාර්ජනය කරන්නේ තමන්ට ම අනන්‍ය සාධාරණ පෞද්ගලික අස්ථානයක පිහිටා ය - එය තවත් අනෙකෙකුට සාධාරණ නැත. දෛනික සමාජීය ජිවිතයේ ඒ ඒ චරිත අප රඟපාන්නේ, ඒ ඒ තනතුරු අරා වැඩවසන්නේ, අප විසින් දක්වන ඒ ඒ අපගේ මුඛය පමණක් නොව අතපය ආදී ශාරීරික අංග ප්‍රත්‍යංග අනුසාරයෙන් මුහුණේ ඉඟි බිගි අනුසාරයෙන් ඉදිරියට ගෙනෙන ප්‍රකාශනයන්හි රංගනයේ තරමටය.
සැප ,දුක, තරහ, වෛරය,උපේක්ෂාව, සමාදානය,සමාධිය හෝ කුමක් හෝ වශයෙන් තමන් ගැන හෝ අනුන් ගැන අප දැනට ඇති කරගෙන තියෙන මේ දැනීම, හැඟීම ( සංජානනය ) අතිශය පුද්ගල මනෝමුලික ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ක්‍රියාවක ප්‍රතිපලයකි,පලයකි. මේ බව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දැනුමකින් දැනගන්නේ ද මායාත්මක රංගනයකිනි. මෙය මායාත්මක රංගනයක් ලෙස ම විසන් හදුන්වන්නේ එය ප්‍රදර්ශනාත්මක ඉදිරිපත්කිරීමක් සමාරෝපණය වීමක් විනා ඇත්ත යුක්ති සැබෑ යතාර්ථවත් දෙයක් එහි නොමැත. එකිනෙකාගේ මේ පෞද්ගලික අචිරුචින් සංසදයකට ලක්වීමෙන් එය චින්තන ජංජාලයක් බවට පත් වෙයි.
උක්ත කාරණයට මා චින්තන ජංජාලයක් යැයි නම් කරන්නේ ඇයි ? එනම්, ඒ ඒ කෙනා ලෝකය දකින ආකාරය කෙනෙකුට තවත් කෙනෙකුගෙන් සපුරා වෙනස් ය. නමුත්, අප මා, ඔබ, සහ ඔවුන් ... ආදී වශයෙන් මේ එකිනෙකා කියන කරන, ප්‍රකාශ කරන දේ අනුව මේ එකිනෙකාගේ සිතුම් මාලා එකට කැටිව සියල්ල සම්පර්ෂ්ණය වීමෙන් තදනත්තර ජාල චින්තනයක අප නිරත ව සිටී. ජාල චින්තනය අනුව අප ප්‍රජාවක් ලෙස සාමුහික වද බන්ධනයක සිර ව ඇත. මෙය සාමුහික මුලාවකි, මිත්‍යාවකි - ඒ නිසා මෙය නම් වනාහි අත්‍යන්තයෙන් ම චින්තන ජංජාලයකි, පැටලිල්ලකි, අවුලකි; සැබෑ යථානුරූපි අදහසක් දැක්වීමක් නොවේ.
මේ ජාල චින්තනය ම සත්‍යයක් සේ අප ලෝකය අනුදක්නය කරයි. අප නැවත නැවතත් මතිභ්රමයක පැටලෙයි. ඒ නම්, ලෝකය හෙවත් අපගේ පෞද්ගලික දැනීම, හැඟීම, අවබෝධය වැරදියට වටහා ගැනීමක අප නිරන්තරව නියැලී සිටින නිසයි. ඒ අනුව තමන්ගේ ලෝකයේ ප්‍රක්ෂේපනයේ එන ආත්ම කථනමය අන්තර්වර්ති - පුද්ගල සන්නිවේදනයේ සිට එකිනෙකා පුද්ගලාන්තර සහ ඉනික්බිතිව කණ්ඩායම් සහ මහජන වශයෙන් සන්නිවේදනයේ නිරත ව සිටිත්. එය සාමුහික චින්තන ජංජාලයක් චින්තනමය ජාල මිත්‍යාවක් , මායාවක් , මුලාවක් බව අපට කොහෙත්ම වැටහෙන්නේ නැත.
දැන් ඉතින් කවුද , කෙසේද , කොහොමද මේ සත්‍යයක් සේ පෙනෙන ව්‍යාජය පිළිගන්නේ ? නමුත් අප එකිනෙකා සිතින් ම උපාර්ජනය සහ සංජානනය කරගෙන තිබෙන මනෝ මුලික නිර්මිත සංකල්ප ලෝකය ව්‍යාජයක් බොරුවක්. මේ දේ ලෝකයේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දැනුමට හසුනොවෙන දෙයක් ලෙස අප තහවුරු කරන්නේ හදුනාගන්නේ නැත. ඒ මන්ද ? ලෝකයේ සියලු සතුන් වටිනාකම්, සම්මුතීන්, ඇගයුම් ලෙස සම්මත ලෝක ආශීර්වාද ප්‍රමිතිය බවට පත් කරගෙන තිබෙන්නේ මේ වැරදියට වටහාගැනීමකි.
මේ අප දැන් මේ වෙසෙන්නේ එකිනෙකා ව්‍යාජ මානසික සිතුවිලි සම්පර්කයක ප්‍රතිපලයක සපලවීමක් ලෙසයි; නොඑසේව, අප කවුරු කවුරුත් අන් කවරකින්ද ජීවත්වෙන්නේ ?. ඒ අනුව, මේ මා ලියන, ඔබ දැන් කියවන මේ ලිපිය, ඒ අනුව මේ මා කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන ඔබගේත් මගෙත් මේ සියලු ස්නායු ජෛව රසායනික සායනික සන්නිවේදන යාන්ත්‍රණය ම කායික වශයෙන් සක්‍රිය ව ඇත්තේ මානසික රංගනයක ප්‍රබන්ධයක ප්‍රතිපලයක් වශයෙනි. තම තමන්ට ලෝකය අතැඹුලක් ලෙස උද්ග්‍රහණය වන මේ වැටහීම, අවබෝධය ප්‍රකාර ඇත්තටම ඒ ආකාර ලෝකයක් එළියේ ව්‍යුහාත්මක ව පවතින්නේ නැත. පවතින්නේ සංකල්ප ව්‍යුහයකි. අපගේ ලෝකය හෝ එහි පවතින ද්‍රව්‍යමය පදාර්ථය වනාහි පුද්ගල මානසික සංකල්ප ලෝකයක පිළිගැනීමකි. එළියේ පවතින වාස්තවික ලෝකයක් පිළිබද හෝ මම හෝ අපි හෝ අන් අයෙක් පිළිබද හෝ ලෝකය ලෝකය යැයි කියන්නේ සංකල්ප ලෝකයකට විනා අන් කවරකටද? එනම් බාහිර ලෝකයේ කුමක් කවරක් ව්‍යුහාත්මක ව වාස්තවිකව තිබුනා තියෙනවා කියන්නේ ද මානසික උපාදානයක් ගැටීමක් ලෙස විනා අන් කවර මාධ්‍යයකින්ද? එයද බාහිර ද්‍රව්‍යමය සංරචකය පිළිබද අප දකින හැඟෙන ආකාරය යනු අප එකී බාහිර මෙවලම පිළිබද ඇතිකරගන්නා ගැටීමේ පරාවර්තනයක් විනා අන් කවරක්ද?
සිතින් හදා ගත්ත මේ මානසික ප්‍රබන්ධය මාගේ ලෝකය ලෙස, සැබෑ ලෙස අපගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සංජානනය පිළිගන්නේය. ඒ හෝමෝ සේපියන් ඇතුළු සියලු ලෝක සතුන් මේ ආකාරයේ එකිනෙක අන්තර් - පුද්ගල සහ ඉනික්බිති ව කණ්ඩායම් වශයෙන් ජාල චින්තන පර්ෂදයක සිරව හිරව ඇති නිසාය. එයින් එළියට ඒමක් කතෘකාරකයෙන් අපගේ ඇණවුම හෝ බලය යොදා කළ නොහැකිය. එයට හේතුව වන්නේ ලෝකය පිළිබද ඇතිකරගන්නා කුමන හෝ අගයක් ඇගයුමක් වනාහි අපගේ ඉන්ද්‍රිය ද්‍රව්‍යය හෝ වස්තු මත ගැටෙන ක්‍රියාවේ පරාවර්තනයකි. ඒ මිස, මගේ හෝ ඔබේ හෝ අන් කෙනෙකුගේ දෙයක් අපට සර්වත්‍රිකව හසු වනවා නම් හසුවෙන්නේ වෙන කෙසේද?. හසුවන්නේ ලෝකය පිළිබද ගැටුමේ පරාවර්තනයක් ප්‍රත්‍යාවර්තනයක් පමණකි. එය තේරුම් ගත හැක්කේ මේ මා ඔබ ලෝකය දකින දැනෙන ආකාරය දෙස බැලීමෙන් ම ය . ඒ විනා ඔබ මා දෙස හෝ මා ඔබ දෙස හෝ බැලීමෙන් නම් නොවේ මේ මායා සන්නිවේදනය හසුකර ගත හැක්කේ. එනම් මා ලෝකය දකින දැනෙන උපාර්ජනය කරන ආකාරය දෙස මා විසින් ම බැලීමෙනි මේ මා කියන සංසිද්ධිය පසක් වන්නේ. එවිට මා කියා දෙයක් නැති බව හදුනාගනී. මා යනු සංකල්ප ප්‍රපංච සංඥාවක්, සංකතයක්,අභිසංචේතනාවක් පමණි.
මට ලෝකය දැනෙන හැඟෙන වැටහෙන ආකාරය දෙස ම බැලීමෙන් මේ රංගන චින්තන ජංජාලයේ තරම හැදිනගත හැක. ඒ ද ව්‍යාජ සංජානනයක පලයකිනි. එය අභිජානන හෙවත් මා ලෝකය අභිජනනය කරගන්නා,තනා ගන්නා, වටහා ගන්නා, ජනිත කරගන්න, සංජානනය කරන ආකාරය විභාජනය කර කඩා කපා බැලීමේ ප්‍රතිපලයකි. ඒ මගේ ඔබේ ව්‍යාජය රංගනය මති චින්තන ජංජාලය දැකීම අවසානයේ පිළිසිඳ වශයෙන් මේ ලෝක විසම්මුතිය දැකීම අවසන් වන්නේය. ඒ පරිජානන හෙවත් ප්‍රත්‍යක්ෂ පිළිසිඳ වශයෙන් තමන් ලෝකය විදින, දකින ආකාරයේ ව්‍යාජය දැකීමෙනි. මේ අප තම තමන්ගේ ලෝක වල සිර ව අනුන් මෙන්ම තමන් ද නිර්ණය කරන්න යන වෙහෙස සහ ව්‍යාජ ශ්‍රමය, පරිදාහය ම දැකීමෙනි පරිජානනය ( පිළිසිද ප්‍රත්‍යක්ෂ දැකීම ) අවසන් වන්නේ.
ඒ අනුව, පරම පාරිශුද්ධ ශුන්‍ය හෙවත් කිසිවක් නොමැති තැන දැකීම පරිජානනය යි. එතැනට කාලයේ හෝ අවකාශයේ හෝ මේ ලොව අධ්‍යාත්මික හෝ භෞතික වශයෙන් හෝ බාහිර හෝ අභ්‍යන්තර හෝ වශයෙන් හසුවෙන කිසිදු මිනුමකට මායිමකට සංඛ්‍යාවකට ගැණිය හැකි ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක කිසිදු සංරචකයක් ඉතිරි නැතිවම හසු වේ. ඒ,ඒ කිසිවක් ම ලොව නැති නිසා ය.
ඇත්තේ ඇති තරම් ඒ ඒ කෙනා කෙනාගේ මානසික සංකල්ප ප්‍රක්ෂේපණයේ තරම පමණි. ඒ අනුව මනසින් ම ප්‍රබන්ධනය කරගන්නා ලදුව ඇති මානසික ගිණුම්, ගැනීම් සහ සංඛ්‍යා පමණි අපට හොද හෝ නරක හෝ වශයෙන් ද්විභ්රම ප්‍රතිලෝමයකින් දැක්විය හැක්කේ. මා හෝ/සහ ලෝකය පිළිබද අපට ඇත්තේ මානසික ප්‍රපංච සංඥා සංඛ්‍යාවට ( ගණන්) ගැනීම් පමණි. ඒවා මිත්‍යා මානසික ව්‍යාජ පද බැදුම් විනා අන් කවරක්ද? එම නිසා මා ඔබ අන් කිසිදු ජෛව ප්‍රණියකු ලොව ජීවත්වෙන්නේ මේ දැනට පවතින්නේ මේ ව්‍යාජ මිත්‍යා ( මුලා වූ) රංගනයේ සහ ඒ අනුව හෝමෝ සේපියන් සතා සාමුහිකව නිර්මාණය ( ප්‍රබන්ධනය කරන ලදුව) චින්තන ජංජාලයේ සපලවීමක් වශයෙනි.
එමනිසා, ජීවත්වෙන තාක් කල්, අපි සැවොම, තමන්ටත් අන් අයටත් රංගනයෙන් ම ව්‍යාජයකින් ම ජිවත් වෙමු. ඒ මන්ද යත් ? අප උපන්නේත් ඒ ආකාරයෙනි, අප පවතින්නේත් ඒ ආකාරයෙනි, අප භංග වන්නේත් වෙනවා නම් බොහෝ දුරට ඒ ආකාරයෙනි. ඒ නම්, ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ ලෝකය යයි ගන්නා කිසිදු සම්මුති සන්නිවේදන සංඥා සංකේත ක්ෂණයකින් භංගුර වන්නේත් ඒ ආකාරයෙනි. කාලයත් අවකාශයත් ඒ ආකාර මානසික ප්‍රබන්ධයකි, මිතියකි, මානසික ප්‍රබන්ධයකි, මානසික චිත්තවේගීය උපාදානයකි.
ඒ මන්ද යත්, කයක් දරන තාක් කල් ඒ ආකාරයේ ව්‍යාජයකින්, මුලාවකින් රංගනයකින් මායාවකින් ම අප මේ හුස්ම දරා අරා වැඩසිටිය යුත්තේය. මේ බව දැකීම පමණකි කල හැක්කේ. ඒ සංජානනයේ සිට අභිජානන මට්ටම පසුකරමින් පරිජානන දැනුමකට ප්‍රදුර්භුත වීමෙනි. එය දැනට මේ මා දක්වන හිතන කියන කරන මේ දේ පිළිබද ඔබ හමුවට ගෙන එන භාෂා සිමාවේ නොපිහිටි දෙයකි, භාෂා විෂය විෂය අතික්‍රන්ත දෙයකි. එනම්, කිසිදු මානව සංජානන සන්නිවේදන බසකින් දැක්විය නොහැකි; අකත, අසංකත, නසංඥ, නවිසංඥ, නවිභූතසංඥා මය තත්ත්වකින් කිව නොහැකි දෙයකි මේ - ඒ කිමෙක්ද යත්, ඒ නම්, මේ මොහොත යි. ලොව කිසිවකුට හෝ ඇති යමක් පවතින්නේ වශයෙන් කිව හැක්කේ මේ මොහොත පමණි. යමෙක් තමා පසුකර ආ අතීතය මෙන්ම හෙට දවසේ කරන්න තියෙන අනාගතයේ දෙයක් පවා ආවර්ජනය කරමින් සිටින්නේ ඒ මේ මොහොතේ විනා අන් කවර කාලයකද - අවකාශයකද? නමුත් එයද කිසිවකුට හසුකර ගත නොහැක්කේ එය නොපවතින හුදු සංඥාවකින් පමණක් ඉදිරිපත් කල හැකි දෙයක් විනා එතැන ගත යුත්තක් නැත. එවිට එතැන කාලයත් නැත, අවකාශය කියා රගන්නට දක්වන්නට තැනකුත් නැත.
මේ ලොව තියෙනවා නම් තියෙන්නේ යමක් වී නම් ඒ වනාහි මේ මොහොතයි එයද , ඒ, සම්මුතික සංඥාවකින්, සන්නිවේදනයකින්, නිදසුන් සැපයිය නොහැකි "අනිදස්සන" දැනීමකි, විඤ්ඤාණයකි. අනිත්‍ය සඤ්ඤාවකි, අතම්‍යතාවකි එතැන ඇත්තේ. ඒ කියන්නේ පවතින මේ මොහොත පවා ලොව කිසිවකුට හසුකර නොහැක්කේ ඇතිවෙනකොට නැතිවෙන ස්වභාව ඇති මනසක් සිතක් මිනිසුන්ට උරුම නිසයි. එමනිසා, මානව පාරිශුද්ධ සන්නිවේදනය අභිශුන්‍ය කුලකයකි.නොපවතින දෙයකට පවතින දෙයක් යැයි සිතා කටයුතු කිරීම ම අපගේ මුලාව රංගනය සහ චින්තන ජංජාලයේ ස්වරූපයයි. අද අප වෙසෙන ලෝකය සකසා තිබෙන්නේ මෙකී පදනමේ ය. අප ඉදිරියේ එය මෙතරම් ව්‍යසනකාරී ව එදත් අදත් හෙටත් ක්ෂණ භංගුර වේ.


