Monday, July 6, 2026




විශ්ව විද්‍යාලයේ ( ලෝකයේ) මිත්‍යාව සහ අවිද්‍යාව 



දැන් ඉන්න මම ද ඊළග ආත්මයට යන්නේ ? 


කරන පව් පින් කොහොමද මගේ ඊළග ජීවිතය තීරණය කරන්නේ? 


අපි කොහොම හිටියහම කොහොමද, ඒක හේතු වෙන්නේ කොහොමද මගේ නැවත ඉපදීමකට 


 අද මගේ සහෝදරයෙකු ඇසු පැනයකි, මේ.


මේ අසන ලද පැනය  ම  සදොස් ය. ඒ මන්ද යත්? මිනිසුන් ප්‍රශ්න අසන්නේ අපට මේ ඉන්ද්‍රිය විසින් ලෝකය හසු කරගන්නා ආකාරය අනුව ය. නැතහොත් අපගේ ඇස  කන ආදී සිට මනස විසින් ලෝකය යන්න සංකල්පනය  කරගන්නා ආකාරය අනුව ය. පනවා ගෙන ඇති පරිදි ඒ අනුව සිතා ගැනීමක් අනුව පව හෝ පින හෝ කල දෙය හෝ ජීවිතය හෝ මරණය හෝ සම්බන්ධ කිරීමකි, මේ උක්ත ප්‍රශ්නය. 


අප ලෝකය අත්දකින්නේ මේ අපට  මේ කයේ තියෙන  ඇස  කන ආදී ඉන්ද්‍රිය මත පිහිටන ආකාරය අනුවය. ඒ, ලෝකය සටහන් කරගන්නා සිතින් හදා ගන්නා ලද සංකල්පීය රූ සටහන අනුව ය අප ලෝකය අත්දකින්නේ.



ඒ අනුව අප විසින් බණ  හෝ දේශනා හෝ නැතිනම් තමන් විසින් අජ්ජෝසනය කර ගන්නා තේරුම් ගැනීම හෝ / සහ ඒ අනුව ලෝකය , තමා පිළිබද ඇතිකරගන්නා  සිතින් හදා ගත් සංකල්ප ලෝකය අනුව ය අප ජීවත්වෙන්නේ. ලෝකය අප සංකල්පයක් වශයෙන් ගන්නේ , දැනගන්නේ දැනෙන්නේ අප භාවිත කරන වහරන භාෂාව අනුව ය. ඒ භාෂාව ගොඩනැගෙන්නේ අපගේ මනසේ ලෝකය පිළිබද සංඥා වශයෙන්,  උපන් මොහොතේ සිට මවගේ ඇකයේ සිට මව පියා ගුරුවරුන් ඇසුරු කරන්නන් අනුව ය. ඒ අනුව අපගේ මනස සකස් කරගන්නේ ය. ඒ අනුව උපන් මොහොතේ සිට සමාජීය සත්ත්වයෙක් ලෙස ඇසට කනට නාසයට කයට ආදී මනස කේන්ද්‍ර කරගත් මේ චින්තනය සැකසෙන්නේ ය. ඒ අප විසින් අපට දී තිබෙන ඉන්ද්‍රිය අනුව ලෝකය. එහි ශක්‍යතා සහ කුසලතා අනුව ඒ ඓන්ද්‍රීය සිමා අනුව පමණි අප ලෝකය ලෝකය යන්න උපාර්ජනය කරගෙන ඇත්තේ.


ඒ අනුව අප සම්මුතිකව අපට පෙනෙන ඇසෙන දැනෙන සිතෙන ආකාරය අනුව මේ ලෝකයේ ඇතිතාක් සියලු දේ ගොඩනගාගෙන ඇත්තේ ය. ඒ  සක්ස්කිරීමක්, නිර්මාණයක්, ගොඩනැගීමක් අනුව විනා අනෙක් නිශ්චිත සපරිපුර්ණ නිරපේක්ෂ ආකාරයක් අනුව නොවේ. ඒ අනුව අප ඒ ඒ කෙනා ගේ ඉන්ද්‍රිය කුසලතාව අනුව ලෝකය සංජානනය කරගෙන ඇත්තේ ය . මේ සංජානනය ඒ ඒ කෙනාගේ ඉන්ද්‍රිය පරිපාකය , ඒ ඒ ඇස  කන ආදී ඉන්ද්‍රිය ශක්‍යතා අනුව මනස මුලිකව කරගෙන තිබෙන රූපනයකි, රුප්පනයකි, තෝරාගැනීමකි,  - ඉන්ද්රියට හසුවෙන අකාරය අනුව ලෝකය ඇස  කන ආදී ඉන්ද්‍රිය නිර්මිත  සංකල්ප මාත්‍ර සංරචනයකි මේ අප දැන් අත්දකින ලෝකය වනාහි.


නමුත් මිනිසා බැදී ඇති, ගෙතී ඇති සමාජීය අන්‍යෝන්‍යය රැහැන් ජාල අනුව මේ තමන්ගේ රූපනය හෙවත් සකස්කරගත් සංස්කරණමය රූප ලෝකය  ක සිරව කොදෙව්වක වාසය කරයි. මේ සංකල්ප ලෝකය ඔස්සේ  එසේ නාම මාත්‍රික වශයෙන් පවතින මනෝ මුලික දෙයක් ලෙස කාටත් පෙනෙන දේ නොපෙන්නේ ය. ඒ මේ අප ජීවත්වෙන සමාජීය ගනුදෙනුවේ සංඛ්‍යානය සඛ්‍යාතය සහ මාතය අනුව ය. එම නිසා මේ දැන් සිටින මේ ගනුදෙනුවේ සබදතාවේ බන්ධනයේ තරමට මේ අපගේ සිනමා රූපයේ සැබෑ විෂයමුලකතාව මේ සංකල්ප වලින්ම නිමග්න මනස ට නම් හසු නොවේ. එය හසුවෙන්නේ මනස මගින් දැකීම හෙවත් මිනිස් සංජානනය ට නොවේ. ඒ ව්‍යාජ නිර්මිත සංස්කරණ ලෝකය හසුවෙන්නේ සංකල්පය හැදෙන සංජානන මනස හැදෙන ආකාරය දැකීමෙනි. හෙවත් මනස හැදෙන ආකාරය පිළිබද අභිජානන බුද්ධියකින් මෙය හසු කරගැනීමකි. මෙය ශික්ෂා මාර්ගය හෙවත් සේඛ මගින් දකින්නේ මේ දැන් කරන කියන දකින දැනෙන සිතෙන දේ දෙස ඒ ඒ තැනට ම සිත දීමෙනි. මෙය සතිය නමින් හැදින් වේ. මේ සතියෙන් සිහියෙන් බලන දේ නම් සිත උපදින සංකල්ප ලෝකය අපගේ මනසේ රූපනය වන ආකාරය දකින කෙනා යෝනිසෝමනසිකාර ඔස්සේ ලෝකය අනුදකි. හෙවත් සිත උපදින තැන ( යෝනි + සෝ  + මනසිකාර) ට සිත දීමෙනි අප මේ මනසේ මායාව දකින්නේ දැන්. ඒසේ සිතෙන් සිත දෙස බැලීම සම්පජන්නය නමින් හැදින් වේ. මෙය හරියට දියෙන් කිරි වෙන්කරගන්නා ආකාරය මෙන් අපගේ සිතට දැනෙන හැගෙන සිතෙන ඇසෙන දේ වෙනමත් (අප ඒ දේ සංජානනය කරන ආකාරය) අප මේ දේ වෙන්කරගෙන දකින ( අභි + ජනන ) ආකාරය වෙනමත් දැන් මේ සිතෙන් ම දකී. 


මෙතැන දී වෙන්නේ සිතෙන් හදා ගන්නා ලෝකය පරිභාහිර දෙයක් මගේ නොවන දෙයක් ලෙස තමන්ගේ මේ ඉන්ද්‍රිය සංජානනය ඉක්මවා පරිජානන හෙවත් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දැනුමකින් දැකීමකි.


මෙහෙම තමන් කරන කියන දකින දැනෙන සිතෙන මේ සියලු  ද්‍රව්‍යය මත ගොඩනගන ලෝකය අප දකී.  ලෝකය ලෙස අප පාරම්බාන සියලු වස්තු දේපල එළියෙන් පරිභාහිර ව මොනතරම් තබුනත් පුද්ගල අපුද්ගල වශයෙන් ඒ සියල්ල අපට දෙයක් ( ධම්ම) වන්නේ අපගේ මනෝ මුලික මනසිකාර කිරීමකින් පමණි. අප වටා තිබෙන බොහෝ දේවල් අප තවමත් නොදකී - දකින්නේ ඉන්ද්‍රිය සංජානනය ට සිමා වෙන සිමා සහිත දැනුමකි. ඒ රදා පවතින්නේ ඒ ඒ කෙනා කෙනාගේ උපන් සහ නිපන් ඉන්ද්‍රිය ශක්‍යතා සහ ඒවායෙහි ප්‍රමාන අනුව පමණි. ඇස  කන මනස රදන තැන අනුව විනා අප ලෝකය ලෝකයා කියා අත්දකින්නේ. නමුත් සත්‍ය හෝ තිබෙන  ලෝකය අපට  හසු නොවේ.


නමුත් ලෝකය තමන්ගේ නිර්මාණයක් තමන්ගේ මේ කය සහ ඒ අනුව ඇති බාහිරට එල්ල කර සකස්ව ඇති ඉන්ද්‍රිය ඇස කන .... මනස අනුව ය. ලෝකය යනු මේ ඔස්සේ  හැදෙන හදාගත්ත නිර්මිත සිනමා සිත්තමක් යන්න පුද්ගලයා දැන් අත්දකින්නේ ත් අපුද්ගල සංසිද්ධියක් ලෙසය . මෙසේ කාලයක් මේ  මනසේ නිර්මාණය දකින  දකින තරමට දැන් හෙතෙමේ සිය උපන් මොළයේ තිබු ස්නායු රසායන සහ නියුරෝන වල සංයුතිය සහ යන්ත්‍රණය වෙනස් වන්නේ ය. ඒ අනුව ඉන්ද්‍රිය ලෝකය රූපනය කරගන්න ආකාරය දකින කෙනා මේ දකින සියලු මනසේ අත්දැකීම් මනසේ මායාවක් සිත්තමක් ලෙස දකින දකින තරමට ඉන්ද්‍රිය ඉක්මවූ අනින්ද්‍රිය පටිබද්ධ විභජ්ජ (වෙන්කොටගත්) මනසකින් ලෝකය අත්දකි. 


මෙතන කරන කෙනක් නැත, කරන්නෙක් නැත. ස්වයං සිද්ධ ව කෙරෙන ස්නායු රසායන ක්‍රියාවලියක  ක්ෂුද්‍ර විතැන්වීමක් සිදු වේ. එය මේ ලෝකයේ අත්දකින මනසේ සංකල්ප රාමු ඉක්ම වූ තැන කි. මෙතනත් අභිනිෂ්ක්‍රමණය  කරන විට ඒ ඒ ඉදිරි මග මේ දැන්  අප සිටින දකින දැනෙන ඉන්ද්‍රිය සංකල්පයට  හසු නොවේ. එනම් මේ දැන් තිබෙන සංජානන මනසේ මායාවෙන් මේ අභිජානන යේ සිට පරිජානන මනෝවෘත්තීය දැකිය නොහැක. 


ලෝකය සහ ලෝකයා වහරන රූපක සහ සංකල්ප සකස් ව ඇත්තේ අප විසින් සම්මුතියෙන් දී තිබෙන සංඥා සංකේත කේත අනුව ය. මේ සියල්ල මනසේ මායාවේ  සිත්තම් පමණි.  එය එසේ නොදකින්නේ අප සංකල්ප ලෝකයට එතරම් තදින් ඇලුම් කරන නිසා නොව අපට පෙන්නේනේ ම මේ කාචය තුලින් දකින බාහිර දැනුම් පද්ධතියකිනි. 



සිග්මුන් ෆ්‍රොයිඩ් මනසේ නොපෙනෙන අවිඥානික සිත වශයෙන් දැක්කේ භාගේදා මේ  දේ විය හැක. ෆ්‍රොයිඩ් ට අනුව අපගේ දෛනික කතාබහ වැඩ වලින් අප  සබුද්ධිකව සතියෙන් සවිඥානයෙන් දැනුවත්ව කෙරෙන්නේ ඉතාමත් අල්ප මාත්‍රයකි. ඒ සංජානන මායාකාරී සිනමාකාරි මනස නිසා මේ සිත සැකසෙන අභිජානන සහ ඉනික්බිති පරිජානන සිත අප නොදකි. ඒ නිසා අපගේ කය ලෙඩ වන්නේ මනස වඩ වඩාත් ලෙඩ වීමෙනි. බොහෝ සමාජීය අර්භුද ඇතිවෙන්නේ ලෝකයා නිසා නොව තමා ලෝකය අනුරංගනය කරන ආකාරය අනුව ය.  අප බොහෝ තැනක අප දන්නේ නැහැ අප මොනවද කරන්නේ කියා. 


මුල මධ්‍යම කාරිකාව රචනය කල මධ්‍යමක දර්ශනයේ නාගාර්ජුන ගේ සිට බටහිර ආතර් ශෝපන්හවර් , ජාන් ෆෝල් සාත්‍ර යන  අය විසින් ලෝකය කිසිවක් නැති ශුන්‍ය දෙයක් ලෙස දැක්කේ ඇතැම්විට මේ අභිජනන සිත දැකීමෙන් පමණක් නතර වීමෙන් විය හැක. නමුත් ලෝකය ශුන්‍ය දෙයක් නොවේ. 


ගෞතම බුද්ධ අර්හත් ආදී සියලු කෙලෙසුන් ප්‍රහීන කල වුන් යනු මේ ශුන්‍යතාව ද මනසේ නිර්මිතයක් ලෙස දකින අයෙකි. මේ දැන් මේ මොහොතේ තිබෙන කායික ( කයට අයත් ) කයෙන් ම ගොඩනගා ගත් මානසික ප්‍රපංචය අනුව ම ගිය ලෝකය මත ම හිදිමින් අප ලෝකය සත්‍යය හෝ අසත්‍යය හෝ ඒ දෙකෙන් එකක් නොවන එකක් හෝ ලෙස වශයෙන් ගනී.  නමුත් කය දරන තාක් කල් මේ දැකීම දකිමින් ඒ ඒ තැන තමන් ලෝකය සේවනය කරන දේ මානසික මඤ්ඤනාවක් මනසින් ගෙත්තම් කිරීමක් ම බව දකී .එසේ දකිමින් මෙහි නිත්‍ය සදාතනික නොවන දේ පිළිබදවත් දකින අනිත්‍ය සඤ්ඤාව ම මෙනෙහි කිරීමෙනි මෙහි ප්‍රරප්‍රප්තිය සිදුවෙන්නේ. 


මේ තැන , මේ මනස ලෝකය හෝ  ලෝකයෙහි කිසිවක් තමන්ගේ හෝ තමා හෝ වශයෙන් ගැනීමට හේතුවක් නොඋපදී. ඒ ඒ තැන දකින අසන දැනෙන කරන දේ ඒ ඒ තැන දකී. ඒ ක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණ භංගුර බවකිනි. දකින දේ දකින තැනම නිෂ්ප්‍රභා වේ.  ඒ ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැති වන බව ඒ ඒ තැන ම දකී. ඒ දකින තැන පරම නිරෝධයකි ශාන්තියකි, අස්වැසුමකි. මේ දකින අනිදස්සන විඤ්ඤානයකින්, අනිත්‍ය සඤ්ඤාවකින්, ප්‍රපංච සඤ්ඤාවක් නැති අතම්‍යතාවකින්,  සති සම්පජන්නයකින් වෙසෙන්නේ ය. ඒ උපන් කය නික්මෙන තාක් ය.  විරාගයෙන් විමෝචනය ව නිරෝධනය තවත් කෙනෙකුට දැන්විය නොහැක්කේ ය. 


නමුත් ලෝකය අප අත්දකින්නේ, මුළුමහත් මානව සන්නිවේදනය ම ගෙත්තම් ව ඇත්තේ සංඥා සංකේත රූප  ඔස්සේ වන සං නිවේදන කාර්යක් මගිනි. ඒ භාෂාවේ මිත්‍යාධිකතාව හෙවත් භාෂාවේ අවිද්‍යාව මත ය. මිනිස් ක්ලේශ, ආශා,ලබ්ධි වටිනාකම් ධර්මතා මත ගෙත්තම් ව ඇති මොනයම් සත්ත්ව මිනිස් ඉන්ද්‍රිය මෙවලමක් වුව ඒ සැකසී ඇත්තේ මනසේ මායාව වහන් වන පරිදි ය. එම නිසා අපි  දැන  දැන  දැක  දැක  සත්‍යයට   විද්‍යාව ට පයින් ගසමු. 



එමනිසා මනසේ මිත්‍යා අවිද්‍යා සංකල්ප රූප මත ඉන්ද්‍රිය අනුභූතික දැනුම මත ඉදිරි කෙරෙන අධ්‍යාපනයකින් ධ්‍යාපනයක් දැක්විය නොහැක,  ඒ මන්ද යත් ? භාෂා විෂය අතික්‍රන්ත දෙයක් නොවන දැනුමක් නොවන සළායතනික ශක්‍යතා ඉක්මවා ගිය අත්දැකීමක් සළායතන මත රදන දැනුමකින් දක්වන්නේ කෙසේද? ඒ මන්ද යත් නිරපේක්ෂ දෙයක් සාපේක්ෂ ලෝකයකින් දැක්විය නොහැකි නිසා ය. 


දක්වන්න දෙයක් නැති ලොවක අත්දකින්න මිස ද්‍රව්‍යමය දැනුමක් ලෙස දක්වන්න මිනිස් භාෂාව පොහොනා නැත්තේය.  මිනිස් සංඥාව සන්නිවේදනය භාෂාව බිහිව ඇත්තේ ම මිනිස් මනසේ අවිද්‍යාව මිත්‍යාව හෙවත් මායාව ට ලබ්ධික ව ය. අනාශා දෙයක්, අත්දැකීමක් ආශා රැහැනකින් දක්වන්න යාම නිමක් නොවන අන්වරාඝ්‍ර වටවලල්ලේ යෑමක් පමණි. නිමක් නොවන වංකගිරියක අතරමං වීමකි අප මුලාව වෙසෙන්නේ මේ.


ඒ අනුව මානව භාෂාවේ මිත්‍යාව සහ අවිද්‍යාව මත මිනිස් චර්යාව සහ අවබෝධය සිමා ව ඇත. එම නිසා අප ලෝකය හෝ තමා පිළිබද හෝ කිසිවක් විද්‍යාව, දැනුම  වශයෙන් ගෙනෙන්නේ ම අපගේ මනෝ මුලික ප්‍රබන්ධයක් නිර්මාණයක් විනා අන් කවරක්ද? 

No comments:

Post a Comment

මෝඩයා උඹ මෝඩයා...!!! ආදරය කරන බව ඔබට මා පුරා විසිවසක් නොදත් ඔබ, මුළු ලොවක් දන්නා  ඔබ නොදන්නා  මෙතෙක් කල් කෙලෙස මා ළඟ ගැවසී, කුමට මා ළඟ ගැවසී...