"මේ ළමයා කොහෙන්දෝ නෙල්ලි කැලෙන් ගෙනාවෝ දඩින් බිඩින් ඩෝහ්.!"
ඒ ඈතින් ඇසෙන්නේ, හවස් ජාමයේ
කාමරයේ ඇඳ උඩට ම වී
සෙල්ලම් කරන සිය සිඟිති දියණිගේ ගීතයට
පද අල්ලන, සෙනෙහෙබර ආදර තාත්තා
ගයන සෙල්ලම් ගෙදර නැටුමේ ගීතය
තවත් පුතාලා දෙන්නෙක් ද
සුන්දර බිරිදක
සමග දිවි ගෙවන මනරම්
හරිම සුන්දරයි ඈතින් ඇහෙනකොට නම්
දරු පවුල් එක්ක ජීවිතය
අල්ලපු ගෙදර
ඒ සුන්දර සිඟිති ගීතයේ රාවයෙන්
කැඩුනේ නින්ද
කාලෙකින් පසු හවස් භාගයේ
වැටී සිටියේ පොඩි නින්දකට
දින කිහිපයකින් ම නොලද
හරි හැටි නින්දක්
වරා නිදි නොව දිවියම
මරා නිදි නොව ජිවිතයම
කැපකරන්නේ ... කුමක්ද ?
මේ කරන වැඩකටම වැඩකට නැති
විකාර ම විකාර
ලෝකෙට පරකාසේ වැඩ වැඩ වැඩ
නිෂ්පල.
මොන මිනිහෙක්ද ඕකා
හ්ම් .. හරි හමන් ගෑණියෙක් නැති මිනිහෙක් ඕකා
පවුලක් නැති මිනිහෙක් ඕකා
ඕකට තේරෙනවද මේවා
ඕකා මේකාගේ ඔක්කොම මේ දහපදුරාවේ යන දේවල්
මෙච්චර කල් දැනගෙන ඉදලත්
කිව්වේ නෑනේ මට .. හ්ම්
මේ මගේ මිනිහගේ
එක එක ගෑණු එක්ක හවසට ළගින
ඕකත් ගියා ඒකිත් එක්ක
නිකමට මට කිව්වේ නෑ මේ වගක්
මේ මොකවත්
මහා ලොකු යාළුවා
ඉන්නේ ඕකත් මේකාගේ සල්ලිවලට මිසක්
පර බල්ලා ඕකා
පොන්නයා
ගෑණියෙක් ගන්න බැරි ...
එහෙම කිව්වේ මාස කිහිපයකට පෙර
හද ළගින්ම තියාගෙන හිඳ
වැඩ කෝටියක් අස්සෙත්
මගේ සියලු වැඩ පසෙක ලා
වෙන්වෙන්න යන දියණිය සිටින ඔවුන්ගේ පවුල
එක් කරන්න
අමිහිරි සියලු වදන් තොරතෝංචියක් නැති
ගැටුම් ගැලුම් අසාගෙන අසාගෙන අසාගෙන සිටි මට
අවපසෙක අවල කෙළියේ නිරත මිතුරාගේ
සපල බිරිද
අන්තිමට දෙස් දෙවොල් තිබ්බේ
එහෙම
දැන් හිටියා ඇති ඔහොම
තනි පංගලමේ ඔහොම
කොහොම ඉන්නද
තනිව ඔය ලොකු ගේක
රස කෑමක් උයල දෙන්න තේ එකක් හදල දෙන්න... ලගින් ඉන්න තනිනොතනියට
ලෙඩක් දුකක් උනාම අන්තිමට කවුද බලාගන්නේ
ඔහොම බෑ
අලුත් අවුරුද්දේ වත් නැද්ද අලුත්වන්නේ
ඔය ජීවිතය ?
අනෙක කිසි පෞර්ෂයක් තියෙනවද ඔහොම ඉදල
මිනිහෙක් වුනාම ගෑණියෙක් ඉන්න ඕනේ
එතකොට තමා මිනිස්සු රෙස්පෙක්ට් කරන්නේ
නම්බුකාර
බොරුවට හරි ගෑණියෙක් ඉන්නොනේ පිරිමියෙකුට නම්
අසන්නේ ගුරුන් නෑයන් මිතුරන් සියල්ල එක පොදියට එක රොත්තට
ඔයාට ඔහොම
ජිවිතයේ හිස් කමක්
අන්තිමට දැනෙන්නේ
ඔහොම
තනිව ඉන්න නිසා
ඔහොම
ඔහොමම ගන්නකො යස ලස්සන හොද කෙල්ලෙක් සහේට
නැත්තන් ජැන්ඩි පහේ කොල්ලෙක් වත් උඹ කැමති විදිහක්
ඕන මගුලක් කමක් නෑ
ඉන්න එපා ඔහොම තනියම
කියන්නේ අසන්නේ තෙපලන්නේ
වටේ සිටින
නැති වූ අම්මා අප්පච්චී වෙනුවට
අම්මාවරු පියවරු සොයුරන් සොයුරියන් කෙළකෝටියක්
විසල් තනි නිවසක
සිටින්නේ
පාළුවටත් තනියටත් කයියටත් කොයිකටත්
එක කෙනෙක්.
වසර ගණනාවකට කලියෙන් ඈත කැලයට
විසිකරන්න මල්ලක දමා ගැට ගසා අරන්ගිය
හොරි හැදී ලොම් හැලී
මුළු ඇඟ පුරා ලේ වලින් නැහැවී
බ්‍රොයිලර් චිකන් එකක් මෙන් සිටි
අද හොද වැඩදාන උඩදාන චන්ඩියෙක්
පළාතම දන්නා
යන එන හැම තැනකම පස්සේ වැඳ වැටි
ඉද්ද පස්සේ ඉද්ද ගහන්නේ
හරි කඩිසර
බ්‍රවුනි
තව තනියට
ඉඳ හිට හදිසියේ ජනෙල් පලුවෙන් මතුව උඩට විත්
පොත් දිහා බලාසිටින මගේ මුහුණ ටිකකට හරවන
මගේ මුහුණ දිහා බලා
ටක් ගාල දිව යන
කළු මී තඩියෙක්.
සුටුස් ගාල එහෙමෙහෙ ගේ ඇතුලේ ගිහින් හනික දිව යන ලේනෙක්
හදිසියේ ආ මග සොයාගත නොහි ටික දොහක් ගේ ඇතුලේ ම සිරවෙන චුටි කුරුල්ලෙක් දෙන්නෙක්
රෑ දොළහට උඩ තට්ටුවට එන නිසොල්මන් බරසාර බස්සෙක්.
කුස්සියේ කෑම ටිකක් හදන කොට එළියෙන් එන
මේ ගේ අයිති හිමි කරු
ලොකු තලගොයෙක්.
මේ අය සමග මිස
මිනිස් වෙස් ගත් කිසිවෙකුත් සමග
නැත කිසි කථාවක් දුකක් හෝ සතුටක් හෝ මොකුත් මුසුකරන්නේ.
නැත හිත දෙන්නේ කිසි මිනිසෙකු සමග
ආයෙත්
කිසිත් කිසිවක් දුකක් සතුටක් බෙදාගන්න
මුළු මිනිස් සංසාරයක් ම
එපාම එපා වෙන්න
තිත්ත ම තිත්ත වෙන්න
එපා කොට
හැර දමා පලා ගියේ
නොවේ
ඔහු තවත් කෙනෙකු සමග.
මොන තරම් දිවි පරදුවට තබා කැපවීම් කරත්
පාවා දී ලෝකය ඉදිරියේ
පලාගියේ
අන්තිමට දරුණු ම දරුණු මාරාන්තික හද වේදනා දී
ජිවිතයේ නිෂ්පල නිරුත් අරුත් සුන් කම ම
යස අගේට පසක් කර දී.
ගියේ
කියා දී හරියටම
නැත ලොවේ කාටවත් දෙන්නට කරන්නට කිසිවක්
කොච්චර ළගින් සිටියත්
මොනතරම් කායිකව ලගින් හිටියත්
එච්චර කාලයක් ලගින් හිදන් තියෙන්නේ හදවතින් මා පමණයි
ගන්න පුළුවන් සියල්ල හොදම දේ අරන් යන්න යනවා කාලය ආවහම
යස රස තියෙන අනෙකා හමුවූ විට.
ශුද්ධ ශුන්‍ය හිස් කම ම මිස
ජිවිතයට පන්නරය ගෙනදෙන්නේ
දරා ගන්න කෙලකෝටියක් වද වේදනා හද සංතාප
අපමණ චෝදනා ඇණුම් බැණුම්
කන්තෝරුවෙත් ගේ ඇතුලෙත්.
මුළු ජීවිතයෙත්
ජිවිතයේ හිස් කම මිසක්
අන් කවරක් නොවේ
කියා දුන්නේ
ලෝකයේ ඇති එකම මිහිර හයිය සතුට
පස මිතුර
එකට පොදි බැදන් හිටින්නට ලගින්ම හිදන් සහයට
ඒ අන් කවරක් නොවේ
ජිවිතයේ ඇති කිසිත් කිසිවක් නැති
හිස්ම හිස් හිස් කම.
කෝටියක් අපමණ මිතුරන් සතුරන් කවුරු හිටියත් ලගින් දුරින්
නොවේ නැත කිසි වැටුමක් ගැටුමක් හෝ අත්කරගන්නේ දිණුමක්
එකම දිණුම
දැක්කේ ලෝකයේ
හිස්ම හිස් හිස් කම.
කරන්න කරන්න
අපමණ කෙලකෝටියක් බහු භාණ්ඩික
ශෝභන වැඩ වැඩ වැඩ
කයිවාරු පුරාජේරු
කෙළින පච ටොම් ගණන්
පුහු විතණ්ඩවාදී මහලොකු උගත්කම්
ලෝකයට පේන්න.
කියවන්න කියවන්න
ලෝක සම්භාවිත පොත පත තව තවත්
දරන්න දරන්න උජාරු මහලොකු උගත් තානාන්තර
ඇසුරු කරන්න කරන්න මොන කවුරු මිනිසෙක් ජගතෙක්.
දින දින පසක් කරන්නේ
තියනවා නම් තියෙන්නේ
තනි එක යායට
හිස් ම හිස් නොවන
මහා බලගතු ධනවත් ශුද්ධ ශුන්‍ය හිස්කම
මොකුත් ම මොකුත් නැති
දෙයක් කියා කියන්න බැරි
දුකත් සතුටත් වේදනාවක් කිසිත් මොකුත් නැති
කිසිත් බසකින් තෙපලිය නොහැකි
හිස් අවකාශයක් දෙයක් නොවන
දෙයෙක නොදෙයක්
දකින
ගිණිය නොහැකි
අසංඛ්‍යය අපමණ
ශුද්ධ ශුන්‍ය හිස්කම.
.................
ඡායාරූපය ; https://thirst.sg/longing-to-fill-the-emptiness-of-my-life-i-traded-my-body-for-money/
