Wednesday, April 1, 2026

 


                                                          



කවුද හොඳ (නරක)  ? ; පෝදා වරුණ 

හොඳ හෝ  නොහොඳ නොමැති-ඇති, ගතික, පරාස, ප්‍රවාහ, ස්තරගත ( අපරිපුර්ණ) මිනිසුන් 

මනුෂ්‍ය හැසිරීම “හොඳ” හෝ “නරක” වශයෙන් ද්විමය  ප්‍රති ප්‍රතිවිරුද්ධාභාෂයකින් (binary opposition) දැක්විය නොහැකිය. මානව චර්යාව වනාහි, එවැනි එකාකෘතික, රේඛීය, අගතිගාමී මිම්මකින් දැක්විය හැකිද? මිනිස් චරිතය යනු එවැනි  දෙකකට පමණක් සීමා කරගත නොහැකි සංකීර්ණ දෙයකි. පෞර්ෂත්ව මනෝවිද්‍යාවේදී, මනුෂ්‍ය පෞරුෂය තේරුම් ගන්නේ ස්ථිර ප්‍රතිවිරුද්ධ ගුණ වශයෙන් නොවේ. 

මිනිස් චරිතය යනු පරාසයක් (spectrum) ගන්නා සංරචකයක් ලෙසයි දක්වන්නේ. පෝල් කොස්ටා සහ රොබර්ට් මක්රේ (Paul Costa සහ Robert McCrae) විසින් දක්වන ලදුව "පංච මහා පෞර්ෂත්ව ගුණාංග" (Big Five Personality Traits) නමැති  ආකෘතිය අනුව, පුද්ගලයෙකුගේ ගුණාංග වෙනස් විය හැක; ඒවා සමකාලින, සහජාත, ප්‍රත්‍යක්ෂ, මේ මොහොතේ පවතින තත්ත්වයන් අනුව ක්‍රියාත්මක ව ප්‍රකාශ වේ (1992). 

එම නිසා, පුද්ගලයෙකුට එකම වෙලාවේ වෙනස්, සමහරවිට එකිනෙකට විරුද්ධ මෙන් පෙනෙන ගුණාංග තිබිය හැක. කෙටියෙන් දක්වතොත් ප්‍රවාහමය සහ ස්තරගත මනුෂ්‍ය හැසිරීම (fluid and layered) තුළ  අපගේ දෛනික චර්යාව අතීරණය කෙරෙයි. ඒ අනුව අපට නෛසර්ගික වන ප්‍රවාහශීලී සහ බහුස්තරීය මනුෂ්‍ය හැසිරීම විසින් අප වෙලා පවතී. අප එකිනෙකා මෙන්ම මගේ චර්යාව වටහාගත යුත්තේ වෙනස් වෙමින් පවතින මෙන්ම එකවිට  තට්ටු කිහිපයකින් යුත් මනුෂ්‍ය හැසිරීමක් වශයෙනි. භාගේදා මේ විශ්වයේ  ඇති  හෝ නැති අනෙකුත් සතුන් එසේ නොවිය හැක. 

මෙයට අමතරව, ලියොන් ෆෙස්ටින්ගර් (Leon Festinger) විසින් ඉදිරිපත් කළ ප්‍රජානාත්මක විරුද්ධතාව (Cognitive Dissonance) න්‍යාය අනුව, මිනිසුන්ට එකිනෙකට ගැළපෙන්නේ නැති අදහස් හෝ හැසිරීම් එකම වෙලාවේ, එකවිට, සහජාතව පවත්වාගෙන යා හැකිය (1957). "සිතුවිලි අතර ඇති නොගැළපීම”, “මනස තුළ ඇති විරුද්ධ අදහස් අතර ගැටුම"  නිසා “එකම පුද්ගලයා තුළ එකිනෙකට ගැළපෙන්නේ නැති විශ්වාස හෝ හැසිරීම් තිබෙන විට ඇතිවන මානසික අසහනය” විසින් මිනිසා නිබදව පෙළනු  ලබයි. 

ෆෙස්ටින්ගර්  දක්වන්නේ, “පුද්ගලයා තමන් තුළ සම්මුතියක් (consistency) ඇති කරගන්න උත්සාහ කරනවා” (p. 1) යනුවෙනි. උදාහරණයක් ලෙස "මම සත්‍යවාදී කෙනෙක්” ( මම පිරිමියෙක්/ මම ගැහැණියෙක්කි/ මම මුසලයෙක් /මම සත්පුරුෂයෙක්/ ...) කියලා හිතන එකත් තමන්ගේ චිත්ත අභ්‍යන්තරය තුළ, ඒය  තමන්ටම "බොරුවක් කියා කියන එකත්" අතර මිනිසා දෝලනය වීම මානව ජීවිතයයි, මිනිස් කාලයයි, මිනිස් අවකාශයයි. 

මේ ඉහත කී උභතෝකෝටිකය විසින් මිනිසා අතෘප්තිකර වෙහෙසක සිටී. ඒ යටත්විජිත,වැඩවසම්, පසුගාමී අවිද්‍යාත්මක දැනුමක සිරකරන පාසල්, පන්සල් පල්ලි,සරසවි, ගෙවල් ගුරුවරු සමාජ රාජ්‍යය විසින් අපට පිරිනමන මෝහන්දකාර දැනුමක ප්‍රෝඩාව විසින් විනා අන් කවරකින්ද?  මේ මොහොතේ තමන්ගේ සිත  දෙස කිසිත් අගති විරහිතව නිවිහැනහිල්ලේ බලතොත් කාට කාටත් පෙනේවි මේ දේ. එනම් මේ ප්‍රතිවිරුද්ධ ගුණාංග දෙක එකට තිබුණාම එයින් අදහස් වන්නේ, අප තුළ විරුද්ධතා තිබීම අතිශය සාමාන්‍ය දෙයක් වන බවයි.

දර්ශනිකව බලද්දී,   ඇරිස්ටෝටල්  තම “නිකොමැකියානු නීති ශාස්ත්‍රය” (Nicomachean Ethics Book II) කෘතියෙන් කියන්නේ, හොඳ ගුණ (virtue) කියන්නේ අතිශය ප්‍රතිවිරුද්ධ  ගුණාංග  දෙකක් අතර මධ්‍යස්ථ තත්වයක් වන බවයි (ක්‍රි.පූ. 350 පමණ). මනුෂ්‍යයාට “හොඳ ජීවිතයක්” (good life) ගත කරන්න පුළුවන් වන්නේ කෙසේද?   යනුවෙන් මේ  කෘතියේ විස්තර කරනවා. 

එසේම, "යින්  සහ යෙන්" යන (Yin and Yang) චීන දර්ශනය අනුව, විරුද්ධ දේවල් එකිනෙකට විරුද්ධව නැතිව, එකිනෙකාව අන්‍යෝන්‍ය ලෙස එකිනෙකා සම්පූර්ණ කරන දෙයක් ලෙස සැකසෙන ස්වභාවයකින් යුතු බව දක්වනවා. එකක් තුළ තවත් එකක බීජයක් (seed) තිබෙනවා කියන අදහස මෙහි මූලික කාරණයයි.

ඒ අනුව, මේ සියලු අදහස් එකට ගත්තොත් පැහැදිලි වෙන්නේ, මනුෂ්‍යයා “එකක් හෝ තවත් එකක්” ලෙස මානුෂ චරිතාංග ගුණාංග දිවිභ්රමයක නොව, විවිධ හැකියාවන් සහ ගුණාංග එකට ගැළපෙන, නොගැළපෙන, කාලය හා තත්ත්වයන් අනුව වෙනස් වන, සංකීර්ණ ජීවියෙක් ලෙස කටයුතු කරන බවයි.  මිනිසා දිව දෙකේ සත්ත්වයෙකු, තිරිසනෙකු, අසත්පුරුෂයකු වශයෙන් අනෙකුන් තවත් කෙනෙකු හංවඩු ගසන්නේත්, මිනිසා සත්පුරුෂ බුදුවරයෙකු වන්නේත් මේ එකම දුර්ගන්ධයේ සුභාෂිත සුපුෂ්පිත පලයකින් විනා අන් කවරකින්ද? 

ඡායාරූපය  ලබාගත්තේ; https://thompsonartstudio.com/human-nature-paintings/


No comments:

Post a Comment

  “Perverted Sex”: Language, Normativity, and Sexual Authenticity “Is ‘Normal Sex’ Just a Social Myth? Rethinking Desire in Sri Lanka” Fake ...