මහැදුරු විමල් දිසානායක : ගෝලීය සන්නිවේදන ශාස්ත්‍රාලයේ ආසියානු සන්නිවේදන සුභාෂිතය
ආචාර්ය මනෝජ් ජිනදාස
ජන සන්නිවේදන අධ්‍යයන අංශය - කැලණිය විශ්ව විද්‍යාලය
වයඹ පළාතේ කුරුණෑගල, නිකවැව නාගලකන්ද දුෂ්කර ගම්මානයේ ඈත හද්දා පිටිසර කොලු ගැටයෙකු වූ දිසානායකයෝ සිය ලෝකය සංජානනය කළෝ නිරායාසයෙනි. ඒ සිය මව පියා අනුප්‍රාණය ලද හද්ද වන්නියේ ම පුසුඹ ම සුසුම කර ගනිමිනි. නිකවැව නාගල කන්ද වන්නියේ මහකැලේ පළු වීර මහා රූස්ස ගස් අස්සේ දිසානායකයන් විසින් සිය මන පොබයන ලද්දේ ය. ඒ සිහිලස ම ඓන්ද්‍රීයව සිය ගත නැහැවුයේය. ස්වභාව සෞන්දර්යය ම මතකයේ රැව් පිළිරැව් නංවමින් ඔහුට අපුරු කවි සිතක් මැව්වේය.
ලංකාවේ ඒ ඈත වන්නියේ ගැමි පුසුඹෙහි ආලෝචන දහරාවෝ ම විමලුන්ගේ ගතත් සිතත් අමන්දානන්දයට ම පත් කළෝය. මේ අප ජීවත්වෙන මුළු පොළෝ තලයම ජීව ප්‍රාණයෙන් ඔප් නැන්වූයේ විමලුන්ගේ උපේක්ෂා ආධ්‍යාත්මයයි. නිකවැවේ ගැමි අහිංසක දුප්පත් මිනිසුන්ගේ හද වේදනාවන්ගේ සොදුරු ආත්මය ම සිය චිත්ත සංතානය ඔස්සේ එක පෙළට දිසි අදිසි දිග හැරුණේය. හෙතෙම අප ඉදිරියේ අද මහේශාක්‍ය ලීලාවෙන් ධවල හස්ති රාජයෙකු මෙන් කුංච නාද කරන්නේය. ඒ නම් කර්ණ රසායන සංගීත ස්වරයෙකිනි. ඒ අන්කවරක්වත් නොව මානව සන්නිවේදනයේ පෙරදිග සුභාවිත ශාස්ත්‍රීය රශ්මි කදම්භයයි.
“සංසාරයත්, නිර්වාණයත් ඇත්තේ එකම පෙත්තේ දෙපැත්තේ එකට වෙසෙමිනි.”- ඒ නම්, නාගාර්ජුන පාදයන්ගේ මූලමධ්‍යම කාරිකාවේ මහායාන බුදුදහමේ එන පෙරදිග බෞද්ධ දර්ශනයෙන්, අපට “නිවන” ගෙනෙන හැඟවුම් භාවකාරක ඉංගිතයයි. භාරතීය දර්ශන වාද මුසු ආලෝක කදම්බයෙන් ඔද වැඩුණු පෙරදිග ආධ්‍යාත්මික දැහැනේ සම වදිමිනි මහැදුරු දිසානායකයන් ලංකාවෙන් ලෝකයට ප්‍රාදුර්භූත වන්නේ. පෙරදිග පාලි සංස්කෘත ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර උද්ග්‍රහණය කළෝ දිසානායකයෝ ය. පේරාදෙණිය සරසවි පාදයේ මහැදුරු සරාසඳුන්ගේ ඇසුරේ ශිල්ප සතර හදාලෝ විමලෝය. එහිම සශ්‍රික අස්වැන්නේ නෛකශ්‍රියෙන් විරාජමාන ප්‍රත්‍යක්ෂ ශාස්ත්‍රීය ප්‍රතිමූර්තියේ අග්‍රඵලය ම වන්නෝ අන් කවරකුත් නොව මහැදුරු විමල් දිසානායකයෝ ම ය.
ගිරිකුළ සහ සඳ මඩල, අකල් වැස්ස, සනාතන අරගලය, නව කවි සරණිය, නිර්මාණය සහ විචාරය, විවාදාත්මක ලිපි, නව විචාර සංකල්ප, මානව සන්නිවේදනය, සංවර්ධන සන්නිවේදනය ආදි මුල් කාලීන පද්‍ය ගද්‍ය සහ ශාස්ත්‍රීය සිංහල ලේඛනය මෙරට සුභාවිත සාහිත කෙත අස්වැද්දීය. පේරාදෙණියෙන් කල්‍යාණියට බට දිසානායකයෝ කැලණිය සරසවියේ සිංහල මහාචාර්ය ධුරයේ මස්තක ප්‍රාප්ත වූහ. එතැන් සිට කැලණියේ 1973 දී මෙරට ආරම්භ කළ ප්‍රථම ජනසන්නිවේදන උපාධි පාඨමාලාවේ “මුල්ම ගුරුතුමා” වුවෝ දිසානායකයෝ ම ය. ඒ, ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා සරසවියෙන් සන්නිවේදන අධ්‍යයනය පිළිබද ශාස්ත්‍රපති උපාධියක ප්‍රවීණතාව ලබමිනි. හෙතෙම මෙරට සන්නිවේදන අධ්‍යයනයේ මුල් ගුරුතන්හි පිහිටන්නේ ය. ඒ, විමලුන් විසින් මහා බි්‍රතාන්‍යයේ සුප්‍රකට කේම්බි්‍රජ් සරසවියෙන් කලින් ලබා ගන්නා ලද සාහිත්‍ය සහ නිර්මාණත්මක ලේඛනය පිළිබද දර්ශන විශාරද උපාධියෙන් ද අනතුරුව ය. මේ ඔස්සේ සිය ජානයෙන් ජන්මයෙන් ලද ශාස්ත්‍ර උද්ග්‍රහණ පිපාසාව සිසාරා අහස් කුසට පියාසර කළේය. ඒ සිංහල නව නිදහස් කවිය, සාහිත්‍ය, විචාර කලාව, සන්නිවේදනය මතු නොව බටහිර සන්නිවේදනයේ හිණිපෙත්තේ ඉහළටම මස්තකප්‍රාප්ත වීමෙනි.
හෙතෙම අසූව දශකයේ ලංකාවෙන් ඇමරිකාවේ හොනලුලුහි හවායි සරසවියේ ඊස්ට්-වෙස්ට් අධ්‍යයන මධ්‍යස්ථානයට හෙතෙම සංක්‍රමණය විය. එහි සිනමා සහ නිර්මාණාත්මක සන්නිවේදන මධ්‍යස්ථානය වෙත දිසානායකයෝ පියාසර කළෝය. හවායි හි දී ලොව එකලු කළ බටහිර දර්ශනවාදය පිළිබඳ කෘතහස්ත විමසීමක් කළෝය. එහි තුලනාත්මක සාහිත්‍යය අධ්‍යයනය සමග නූතන දර්ශන විද්‍යාව සහ නව සංස්කෘතික විචාර අධ්‍යයන ධාරාව ම ප්‍රගුණ කළෝය. ආසියානු සිනමාව, පෙරදිග දර්ශනවාදය සමග බටහිර ප්‍රංශ, ජර්මන්, ඉංග්‍රීසි මතු නොව මැදපෙරදිග, ඉන්දියානු, චීන, ජපන්, රුසියානු ඈ නන් විධ සංස්කෘතික භාෂා සාහිත්‍ය රස මුසු ඕජාව විමලුන්ගේ ගත සිත සිසාරා පසාරු කළෝය. ස්වකීය උත්පත්තික ලාංකේය හද්ද පිටිසර ඈත වන්නියේ දී, ජනනය වුණ සිය අපූරු මානව සබඳතාවෝ කවි සිත තව තවත් අවදි කළේය. දිසානායකයෝ නව ලෝකය දෙස සිය පැණසරු ඇස අවදි කළෝ එසේය. ඈත දුරු රට සිට මෑත සිංහල මව් දේශයේ හද්ද වන්නියේ පැල්පතේ රැඳී ගැමි ජනශ්‍රැතික මිනිස් මනස විමලුන්ට සිය නිර්මාණ කෞශල්‍යය කෙරෙහි වන ජීව ප්‍රාණය ළඟා කළේය. නව විද්‍යා දර්ශන ශාස්ත්‍ර ඔස්සේ බටහිර චින්තන මනස සමග පෙරදිග කවි සිත දිග් විජය කළෝ දිසානායකයෝ ය. එකිනෙක තදනත්තර ශික්ෂණ ඔස්සේ වන විෂයාන්තරික සංස්පර්ශයකින් රූපාන්තරණය වීමෙන් විමලුන් සිය ශාස්ත්‍රීය සාහිත නිර්මාණ සන්නිවේදන ලෝකය අපුර්ව ආකාරයෙන් විද ගනු ලැබී ය.
මෙයින් උද්භව වූ සරු ජනිතයකි. ඒ නම්, එතෙක් මෙතෙක් ලෝකයේ පෙර’පර දෙදිග ශාස්ත්‍රීය ලෝකය තුළ අධිපතිව රජ කළ බටහිර සන්නිවේදන අධ්‍යයන න්‍යාය ශාස්ත්‍රය පළා ගෙන උඩුගම් බලා යාමකි. එහි අභ්‍යන්තරයෙන් ම මතු වූ නව චින්තන දහරාවෙකි. ඒ අන් කවරක්වත් නොව, පෙරදිග ආසියානු සන්නිවේදන න්‍යාය ශාස්ත්‍රයක මග විවර කර දීමෙනි මහැදුරු විමලුන් අප ඉදිරියේ පෙනී සිටින්නේ එහෙයිනි. හෙතෙම මහේශාක්‍ය ලීලාවෙන් ශාස්ත්‍රීය ලෝකය අරා වැඩ වසන්නේය. මහැදුරු විමලුන් පෙරදිග සංස්කෘත, පාලි, සිංහල යන සම්භාව්‍ය භාෂා සාහිත්‍ය කෙතේ පාරප්‍රාප්ත මහාර්ෂී ආධ්‍යාත්මික ඉසිඹුව වුයේය. ඒ, අයෝවා ස්ටන්ෆර්ඩ් සරසවි ආදි නන්විධ ඇමරිකානු සරසවි අරක්ගෙන තිබූ ප්‍රතිචීන නූතන බටහිර ජන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රභලයා වූ මහාචාර්ය විල්බර් ශ්‍රාම්ගේ ආසනයට මහැදුරු විමල් දිසානායකයෝ වැඩම කළෝ නව අරුතක් එක් කරමිනි.
ඒ කෙසේද යත්,
ලතින් ඇමරිකානු, දකුණු අප්‍රිකානු, ආසියානු ආදි විකල්ප ධාරාවේ ප්‍රාචීන සංස්කෘතික සංස්පර්ශය මෙකල ඔද වැඩී ගියේය. ඒ මත ඒ ඒ රටවලට ආවේණික වන පරිදි සන්නිවේදනයේ න්‍යාය සහ විද්‍යාව පිළිබඳ සාකච්ඡාව ඉස්මතු විය. එඩ්වර්ඩ් සයිඩ්, හෝමි බබා, ගයත්‍රී චක්‍රවර්ති ස්පිවක්, ෆ්‍රාන්ස් ෆැනන් ආදි හු මෙකල ප්‍රාචීන ප්‍රතිවේදයක් සංශ්ලේෂණය කළෝය. ඒ ඒ රටවල කලාපවලට බද්ධව මානව චර්යාව, සන්නිවේදනය සහ සංස්කෘතිය හැදෑරීමේ අවශ්‍යතාව මේ යුගයේ ඉස්මතු විය. මහා බි්‍රතාන්‍යයේ රේමන්ඩ් විලියම්ස් මතු නොව, ඇමරිකාවේ හැරල්ඩ් බ්ලුම්ස්, ජර්මනියේ ජුර්ගන් හර්බමාස්, කැනඩාවේ මාර්ෂල් මැක්ලුහන් ආදීහු, “සංස්කෘතිය යනු සන්නිවේදනයයි. සන්නිවේදනය යනු සංස්කෘතියයි” මැයෙන් දාර්ශනික සංධ්වනියක් හෙවත් නව සන්නිවේදන විමසුම් පර්යාවලෝකයක් මතු කළෝය.
අසූව දශකයේ සිට නූතන ලෝකය වෙත මේ නව සම්ප්‍රයුක්තය වැඩම කළෝ දිසානායකයෝ මතු නොවේ. කලාපීය, ප්‍රාදේශීය, ගෝලීය වශයෙන් චිලි, ආර්ජන්ටිනා, බ්‍රසිල් ආදි දකුණු අප්‍රිකානු රටවල මෙන්ම මැදපෙරදිග, නැගෙනහිර ආසියාව, ජපානය, චීනය, ඉන්දියාව, රුසියාව ආදි ඒ ඒ රටවලට ආවේනිකව තදනන්තර දේශීය සාහිත්‍යය භාෂා ජන සමාජීය මානව විද්‍යාත්මක විපුලතා ක්ෂේත්‍ර මෙකල එකිනෙක අනුසංකලනය විය. එයින් මුසුව ඉදිරියට නෙරා ආවේ, අන්තර්-සංස්කෘතික, බහු-සංස්කෘතික, මුහුන්-සංස්කෘතික ආදි නමින්, එක සංස්කෘතියක අංග පුලාව ම තවදුරටත් එකාකෘතිකව අතිශෝක්තියෙන් දැක්වීමක් නොවේ. ඒ වෙනුවට, විවිධ භාෂා සංස්කෘතික ශාස්ත්‍ර දර්ශන අනුසංකලනය වීමෙන්, පෑස්සීමෙන්, එකිනෙක මුසු වීමෙන් මිනිස් මනසේ සංකීර්ණ නමුත් පුළුල් රස ඕඝ බුද්ධි විපල්ලාස මත මානව සන්නිවේදනය විකාශනය වන ආකාරය මතු කළෝය.
උක්ත නූතන සංස්කෘතික සන්නිවේදන සංදර්භය ඉදිරියේ, හුදෙක් බටහිර අධිපතිකව පැවති ඇමරිකානු බෙල් සමාගමේ ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් විවර්, නොර්බර්ට් විනර්, ආතර් සී. ක්ලාක් මත පැවති කාර්මික ජනමාධ්‍යය ධනවාදය මත බිහිවූ ජනසන්නිවේදන න්‍යාය සහ සංකල්පය අවතැන් විය. ඒ කවිය, සාහිත්‍යය, රස සහ භාව අනුව පාඨයක අරුත් සූචනයේ ලා සාමාර්ථ වඩාත් පුළුල් දීපව්‍යාප්ත බහුමාන සහ ආලෝචන රැගත් ප්‍රතිවේදයක් ලෙස සන්නිවේදනය අරුත්දීපනය වීමෙනි. ශිල් දිලුෂ, තියඩෝර් ඇඩෝනෝ, මක්ෂ් හොඛයිමර්, රෝලන්ඩ් බාත් ආදින් ඔස්සේ සිනමාව, කවිය, වෘත්තාන්තය, ආඛ්‍යනය ආදී ප්‍රබන්ධ සාහිත්‍යය සහ මුසුව විචාරාත්මක ගැඹුරු විචාර දර්ශනවාදයේ සුලලිත මෞලිය සංවාසයක් සිදු විය.
මේ මස්තකයේ සිට හාත්පස පර්යන්තය දකින මානයක් ලෙස සන්නිවේදන අධ්‍යයනයට පුළුල් ආලෝක ධාරාවක් එකතු කළෝ මහැදුරු විමල් දිසානායකයෝය. බටහිර විද්‍යුත් තාක්ෂණික යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය අනුව ජනමාධ්‍යය නමැති කාර්මික ධනවාදය ඔස්සේ බිහි වූ සන්නිවේදන න්‍යාය වඩාත් මානව හද මන පොබයන සුලලිත සුභාවිත ශාස්ත්‍රයක් ලෙස න්‍යායකරණය කළෝ මහැදුරු විමල් දිසානායකයෝය. සමකාලීනව මේ මග යමින් යොෂිතක මයික්ල දයා තුස්සු, ෂෙල්ටන් ගුණරත්න, සිරිනිවාස් ජේ. මැල්කොට්, බෙලා මෝදී, ක්‍රිෂ්ණමුර්ති ශ්‍රී රමේෂ්, කුවන් ෂින් චෑන්, පෞලෝ ෆ්රෙයිරේ, ආර්මන්ට් මටලාඩ් ආදිහු සමකාලින ශාස්ත්‍රීය සම්ප්‍රදානයක් ආරම්භ කළහ. බටහිර අධිපති ජනමාධ්‍ය කාර්මික ධනවාදී සන්නිවේදන න්‍යායෙන් පෙරදිග ආසියානු සන්නිවේදන න්‍යාය වෙනස් වන මානය අද අප හමුවේ ගෙනහැර පෑවෝ මහැදුරු විමල් දිසානායකයෝ මිස අන් කවරහු ද?.
❤️🙏
ReplyDelete